Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති විජේදාසගේ ප‍්‍රකාශයට රිෂාඩ් ගෙන් හකීම්ගෙන් පිළිතුරු – මාධ්‍යටත් වරද පැටවෙයි




ශ‍්‍රී ලාංකික මුස්ලිම් ප‍්‍රජාව අයි. එස්. සංවිධානයට කිසිවිටෙකත් සහාය නොදක්වන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්.

ශ‍්‍රී ලාංකිකයින් තිස් දෙදෙනෙකු අයි. එස්. සංවිධානය සමග එක්ව සිරියාවේ දී විවිධ ක‍්‍රියාකාරකම් සිදුකර ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ කියා සිටියා.

සංචාරක වීසා මත පැමිණෙන පිරිස් ඇතැම් ජාත්‍යන්තර මුස්ලිම් පාසල්වල අන්තවාදය උගන්වන බවයි එහි දී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මෙම ප‍්‍රකාශයට අමාත්‍ය රාවුෆ් හකීම් ද පාර්ලිමේන්තුවේ දී අද (19) ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, අදාළ ප‍්‍රකාශයේ ඇතුළත් වූ කරුණු වැරදි අර්ථයක් හැඟවෙන පරිදි ප‍්‍රචාරය කළ බවට මාධ්‍ය ආයතනවලට චෝදනාවක් ද කරමින්.

“අධිකරණ අමාත්‍යතුමන්ගේ කතාව ඉතාම හොඳ කතාවක් , හරවත් කතාවක්. එතුමාගේ කතාවෙන් තමන්ට උවමනා කොටස් ටිකක් අරගෙන අද මාධ්‍යයේ විශාල ශීර්ෂපාඨ දාලා තියෙනවා විශේෂයෙන්ම මේ ISIS සංවිධානය පිළිබඳව , අර 32ක් ගිය කතාව. ඒ තුළින් දැන් තියෙන භීතිකාව තවත් වැඩිකිරීමේ ප්‍රවණතාවයක් ඇතිවෙනවා. ඇත්ත වශයෙන්ම වගකීමෙන් යුතුව මාධ්‍ය තමන් උපුටාගන්නා කොටස් , ඒකට දෙන ප්‍රසිද්ධිය , විශේෂයෙන්ම ශීර්ෂපාඨ හැටියට ගන්නා කොටස් දිහා බැලුවම රටේ කළබල වැඩිකිරීමේ උවමනාවෙන් ප්‍රවණතාවයක් ඇතිවෙනවා”.

සංචාරක වීසා මත පැමිණෙන පිරිස් ඇතැම් ජාත්‍යන්තර මුස්ලිම් පාසල්වල අන්තවාදය උගන්වන බවට පල වූ අදහස සම්බන්ධයෙන් ද අමාත්‍ය රාවුෆ් හකීම් මෙහි දී ප‍්‍රතිචාර දැක්වූවා.

“මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට එන ගුරුවරුන් මේ රටේ ත්‍රස්තවාදයට පොළඹවනවායි කියන කතාවත් කියලා තිබුනා. ඒක මොන තොරතුරක් අරගෙන එතුමා කිව්වද දන්නැහැ. නමුතු ඒක විකෘති කරලා පළකරන්නත් ඉඩ තිබෙනවා. මොකද එහෙම දෙයක් සිදුවෙලා තිබුනානම් අපට අයිතියක් තිබෙනවා නෙරපා දමන්න, නැත්නම් වීසා නොදී ඉන්න”.