Friday, April 26, 2024

General line - 0115112241

මහනුවර වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි – සිද්ධියත් පටිගත වෙලා (VIDEO)




මහනුවර අංකුඹුර ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කබල්ගස්තැන්න ප‍්‍රදේශයේදීයි. සැකකරු සතුව තිබී T56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ විස්සක් ද පොලිස් භාරයට ගැණුනා.

තිස් හැවිරිදි මොහු මොහොමඞ් අලි නමැති මහයියාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අංකුඹුර බැබිලගොල්ල මුස්ලිම් දේවස්ථානය අසළ මාර්ගයක දී අද (20) උදෑසන මෙම වෙඩි තැබීම සිදු වුණා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වුණේ.

ඔවුන් ප‍්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට ඇතුළත් කෙරුණු අතර එහි දී එක් අයෙකු මියගොස් තිබුණා. මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවටයි සැක කෙරෙන්නේ.

ඝාතකයින් පැමිණි බව කියන රතු පැහැති මෝටර් රථයක් පූජාපිටිය ප‍්‍රදේශයේ දමාගොස් තිබිය දී සොයා ගැණුනා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීම මත විමර්ශන කණ්ඩායම් 06 ක් පත්කර තිබෙනවා.

මෙම වෙඩි තැබීම යැයි පැවසෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ ජාල මාධ්‍ය අතර සංසරණය වෙමින් පවතිනවා.

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි.)