Friday, September 20, 2024

General line - 0115112241

මාරුකළ බව කියූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් අදත් වැඩ




ස්ථාන මාරුවක් ලබාදුන් බවට විවිධ වාර්තා පළ වුවද තමන් අද (26) දිනයේද සිය ධුරයේ රාජකාරී සිදුකළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදීයි ඔහු පැවසුවේ මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු දැනුම්දීමක් ලැබී නැති බවයි. එවැනි ලිපියක් ලැබුනහොත් තමා ඕනෑම ස්ථානයකට යාමට සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන්ද ඉකුත් දින කිහිපයේ දැඩි කතාබහක් මතු වුණා.

එහිදී අනාවරණ වුයේ අලූතින් හඳුන්වා දීමට යෝජිත විද්‍යුත් හැඳුනුම්පත වෙනුවෙන් වූ ටෙන්ඩරය දේශපාලන බලපෑම් මත වැඩි මුදලකට ලබාදීමේ සූදානමක් ඇති බවයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඊට විරෝධය පළ කර ඇති බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගෙන ඇති බවත් කැෆේ සංවිධානය ප‍්‍රකාශ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්තිද ප‍්‍රකාශ කළේ කොමසාරිස් ජනරාල්වරයාට ලබාදුන් හදිසි ස්ථාන මාරුව සම්බන්ධයෙන් රජය විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි.