Friday, September 20, 2024

General line - 0115112241

වර්ධා සුළි කුණාටුවට නිසා එමිරේට්ස් යානා කටුනායකට..! කටුනායක චෙන්නායි ගමන් නවතී




වර්ධා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමක දී එහි ප‍්‍රකාශිකාවක් පැවසුවේ ඇතැම් ගුවන් ගමන් අවලංගු කිරීමට සහ ඇතැම් ගුවන් යානා වෙනත් ගුවන් තොටුපලවලට හරවා යැවීමට සිදුව ඇති බවයි.

නෙත් නිවුස් ගුවන් සේවා කිහිපයකින් ද මේ පිළිබඳ විමසීම් කළා. ඒ අනුව දැනගන්නට ලැබුණේ කටුනායක ගුවන් තොටුපලින් චෙන්නායි බලා පියාසර කළ ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් ගොඩබැස්සවීමට නොහැකිව ආපසු හරවා එවා එවා තිබෙන බවයි. යූ. එල්. 121 දරණ එම ගුවන් යානය උදෑසන 9 යි 50 ට පමණ කටුනායකට නැවත ගොඩබස්වා තිබෙනවා. එහි දී යානයේ සිටි ඇතැම් මගීන් ගුවන් සේවයේ නිලධාරීන් සමග සුළු වචන හුවමාරුවක් ද ඇතිකර ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඩුබායි සිට චෙන්නායි ගුවන් තොටුපලට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ද එහි ගොඩබැස්සවීමට නොහැකිව කටුනායකට එවා තිබෙන බවයි දැනගන්නට ලැබුණේ. ඊ. කේ. 651 දරණ එම යානය උදෑසන 9 යි 34 ට පමණ කටුනායකට ගොඩබස්වා තිබෙනවා.

මේ අතර කටුනායක සිට චෙන්නායි දක්වා අද සහ හෙට සිදු කිරීමට නියමිතව තිබු තවත් ගුවන් වාර රැසක් අවලංගු කර තිබෙන බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මීට නොබෝ වේලාවකට පෙර නිවේදනය කළේ. හෙට උදෑසන හත දක්වා වන ගුවන් වාර මෙලෙස අවලංගු කර තිබෙනවා.

වර්ධා සුළි කුණාටුව අද පස්වරුවේ චෙන්නායි ප‍්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුළු වනු ඇතැයි අපේක්ෂිතයි. මෙම සුළි කුණාටුව හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ බොහෝ ප‍්‍රදේශවලට අදත් තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. ඇතැම් මුහුදු ප‍්‍රදේශ වරින් වර රළු විමට ද ඉඩ තිබෙන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූයේ.