Friday, September 20, 2024

General line - 0115112241

පියයුරු පිළිකා හඳුනා ගන්න යන්ත්‍රවල හිඟයක්




පියයුරු පිළිකා හඳුනා ගැනීමට යොදා ගැනෙන මෙමෝග‍්‍රැම් යන්ත‍්‍ර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමාණවත් තරම් නැතැයි තොරතුරු වාර්තා වනවා.

රජයේ රෝහල් සතුව ඇත්තේ එවැනි යන්ත‍්‍ර 11 ක් පමණක් බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.

ඒවායින් 7 ක්ම තිබෙන්නේ කොළඹ හා අවට රෝහල්වල බවද වාර්තා වනවා.  මහරගම ජාතික පිළිකා ආයතනයේ ඉන්  3 ක්ද, කොළඹ ජාතික රෝහලේ 2 ක්, කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ සහ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නාරාහේන්පිට කාර්යාලයේ එක බැගින් වනවා.

රජය සතු සෙසු මෙමෝග‍්‍රෑම් යන්ත‍්‍ර 4 කරාපිටිය, මහනුවර, පොළොන්නරුව සහ යාපනය යන රෝහල්වල එක බැගින් ස්ථාපිත කර තිබෙනවා. පෞද්ගලික අංශයේ රෝහල්වලද ඇත්තේ මෙමෝග‍්‍රෑම් යන්ත‍්‍ර 15 ක් පමණයි.

ඒවායින්ද 14 ක්ම කොළඹ හා අවට රෝහල්වල වන අතර කොළඹින් බැහැරව පෞද්ගලික රෝහල්වල ඇත්තේ එක් මෙමෝග‍්‍රෑම් යන්ත‍්‍රයක් පමණක් බව නෙත් නිවුස් කළ සොයා බැලීමේදී හෙළි වුණා.

මෙමෝග‍්‍රෑම් යන්ත‍්‍රයක් මගින් පියයුරු පිළිකාවක් වැළදීමට ඇති අවදානම වසර දෙකකට පෙර හඳුනා ගතහැකියි. එලෙස කල්ඇතිව හදුනාගත හොත් පියයුරු පිළිකා සුවකර ගැනීමට ද හැකි වනවා.

ඒ අනුව වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් සෑම වසර දෙකකට වරක්ම මෙමෝග‍්‍රෑම් පරීක්‍ෂණයක් සිදුකර ගතයුතු බවයි ලෝ්ක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වයස අවුරුදු 35 ත් – 50 ත් අතර පසුවන කාන්තාවන් අවම වශයෙන් එක් වරක්වත් එම පරීක්‍ෂණය සිදුකර ගතයුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වනවා. විවිධ පිළිකා වර්ග අතරින් ශී‍්‍ර ලංකාවේ කාන්තාවන් අතර සුලභම පිළිකා වර්ගයද පියයුරු පිළිකාවයි.