Friday, September 20, 2024

General line - 0115112241

අයවැය යෝජනා බලන්න වෙනම කණ්ඩායමක්




අයවැය යෝජනා නියමිත පරිදි නියමිත කාලයට කි‍්‍රයාත්මක වන්නේ දැයි පසු විපරම් කිරිම සඳහා වෙනම කණ්ඩායමක් පත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වූ යෝජනාවක් අයවැයෙහිම ඇතුළත් වූ බවයි මුදල් අමාත්‍යාංශය කියාසිටියේ. අයවැය යෝජනා කි‍්‍රයාත්මකවීම පිළිබඳව කාර්තුවකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කළයුතු බවද අයවැයෙහි සඳහන් වනවා.

ඒ සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීමද, පත් කෙරෙන නව කණ්ඩායම විසින් සිදු කෙරෙනු ඇති. පෞද්ගලික අංශයෙන්ද කිහිප දෙනෙකු මෙම කමිටුවට ඇතුළත් කිරීමට වැඩිදුරටත් යෝජනා වී තිබෙනවා.

අයවැය යෝජනා කි‍්‍රයාත්මකවීම පිළිබඳ මීට පෙර පාර්ලිමේන්තුවට වාර්තා කෙරුණේ වසරකට එක් වරක් පමණයි. ඒ, ඊළග වසරේ අයවැය ඉදිරිපත් කිරීමේදීයි. නව ක‍්‍රමය අනුව වසරකට සිව් වරක් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කෙරෙනවා.

ඒ අනුව මුදල් වෙන්කර තිබියදීත් වැඩ ආරම්භ නොකළ හෝ ප‍්‍රමාදවන ව්‍යාපෘතීන් පිළිබදව පාර්ලිමේන්තුවට සහ මහජනතාවට තොරතුරු දැනගත හැකියි. අයවැය යෝජනා නියමිත පරිදි සහ නියමිත වේලාවට ඉටු කිරීමට සියලු අමාත්‍යාංශවලට මේ නිසා අතිරේක බලපෑමක් ඇතිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශය විශ්වාස කරනවා.