Friday, September 20, 2024

General line - 0115112241

වරාය ඇමති කම්කරු නීති උල්ලංඝණය කළා ද?




වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන්ට වැඩවර්ජනය අවසන් කිරීමට ලබාදී ඇති අවසන් නිවේදනය කම්කරු අයිතීන් උල්ලංඝණය කිරීමක් බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ සිය අයිතීන් දිනා ගැනීම සඳහා වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයන්හි නිරතවීමට කම්කරුවන්ට අයිතියක් තිබෙන බවයි.

තමන් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ ස්ථිර සේවයට බඳවා ගන්නැයි බල කරමින් හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් වැඩවර්ජනයක යෙදී සිටිනවා. අද (15) දහවල් 2.00 ට පෙර මෙම වැඩවර්ජනය අවසන් කර නැවත සේවයට වාර්තා නොකලහොත් ඔවුන් රැකියාව අතහැර ගියාසේ සලකන බවයි අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ (14) කියා සිටියේ.

වැඩවර්ජනයක නිරත වන සේවකයන් රැකියාව අතහැර ගියාසේ සැලකීමේ මෙවැනි අත්තනෝමතික කි‍්‍රයාමාර්ගයක් ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී පළමුවරට සිදු කෙරුණු බව කම්කරු අරගල මධ්‍යස්ථානය වැඩිදුරටත් කියාසිටියා.

දේශපාලන අවශ්‍යතා සඳහා කම්කරු අයිතීන් මෙලෙස යටපත් කිරීම දැඩි සේ හෙළා දකින බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.