Friday, September 20, 2024

General line - 0115112241

ජනපති අද මැලේසියා අගමැති හමුවෙයි (UPDATE)




මැලේසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (16) එරට අග‍්‍රාමාත්‍ය නජීබ් තුන් අබ්දුල් රසාක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනවා. දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද අනතුරුව සිදුකිරීමට නියමිතයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නිල පිළිගැනීමේ උත්සවයද අද පැවැත්වෙනවා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් සහ උත්තමාචාර වෙඩිමුර ද පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මේ අතර ඊයේ (15) රාත‍්‍රියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික සහ ආහාර ප‍්‍රදර්ශනයකට ද සහභාගි වුණා.

මෙම උත්සවය සංවිධාන කර තිබුණේ දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට වසර 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්.

ශ‍්‍රී ලංකාව සහ මැලේසියාව අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක කටයුතු සහ විදේශ රැකියා ප‍්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරික සමුළුවකට ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත‍්‍රියේ සහභාගි වුණා.


ජනපති මැලේසියාවට පැමිණෙයි (PHOTOS)

( Dec 15, 2016 @ 17:00)

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ වන විට මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලට පැමිණ තිබෙනවා.

මැලේසියාවේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ මේ බව සඳහන් කළා.

මැලේසියාවේ මානව සම්පත් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවා.

unnamed-5 unnamed-6 unnamed-7


ජනපති දිවයිනෙන් පිටවෙයි – මැලේසියාවේ ආරක්ෂක විධිවිධාන තර කරයි

(Dec 15, 2016 @ 10:51)

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල සංචාරය වෙනුවෙන් මැලේසියාවේ ආරක්‍ෂක විධිවිධාන තරකර තිබෙනවා.

අතිරේක පොලිස් බලඇණි නගර ආරක්‍ෂාවට යොදවා සිටින බවයි එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ පවසන්නේ.

දින කිහිපයක සිට බුද්ධි අංශ නිලධාරීන්ද විශේෂ මෙහෙයුම් සිදුකරමින් සිටිනවා. ඔවුන් වෙත වාර්තා වී ඇත්තේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැලේසියාවේ රැදී සිටින දිනවලදී ශී‍්‍ර ලංකාවට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරීමට එරට ඇතැම් කණ්ඩායම් සැලසුම් කරමින් සිටින බවයි.

කෙසේවෙතත් එම උද්ඝෝෂණ නිසා ජනාධිපතිවරයාගේ කටයුතුවලට බාධාවක් ඇති නොවන බව මැලේසියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ඊබ‍්‍රහිම් අන්සාර් කියාසිටියා.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (15) උදෑසන 7.50 ට පමණ කටුනායකින් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.