Sunday, December 22, 2024

General line - 0115112241

පෞද්ගලික රෝහලේ සිදු වූ මරණය ගැන GMOA එකත් කතා කරයි




පෞද්ගලික රෝහලක දී සිදු වූ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ අංශ විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ මෙම මරණය සැක සහිත බවයි.

අදාළ පෞද්ගලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු හදිසියේ මියයාමත් සමග නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා. මෙලෙස මියගොස් ඇත්තේ දොම්පේ ප‍්‍රදේශයේ කාන්තාවක්. ඇයට සිදු කළ ශල්‍ය කර්මයෙන් අනතුරුව මෙම මරණය සිදුව තිබෙනවා.

සත්‍ය වශයෙන්ම ඇයට ශල්‍ය කර්මයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් තිබුණේද යන්න සම්බන්ධයෙන් සහ ඉන්පසුව ඇති වූ සිද්ධි දාමය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයත්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවත් තාක්ෂණික මට්ටමේ පරීක්ෂණයක් සිදු කළ යුතුයි. කෙසේ වෙතත් රෝගියාගේ මළ සිරුර නිදහස් කිරීමට පෙර රෝහල් ගාස්තු ලෙස රුපියල් එක් ලක්ෂ පනස් දහසකට අධික මුදලක් ගෙවන ලෙස රෝහලේ බලධාරීන් මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට බලපෑම් කර ඇති බවයි වෛද්‍ය නවීන්ද සොයිසා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව ද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. එහි කැඳවුම්කරු රයන් ජයලත් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාකර ඇති රෝහල් කාර්ය මණ්ඩලය පිළිබඳව මුල සිටම සැකයක් මතුවෙන බවයි.