Monday, December 23, 2024

General line - 0115112241

ATM යන්ත‍්‍රවලින් මුදල් කොල්ලකන කල්ලියක් CID දැලේ




ඒ. ටී. එම්. කාඩ්පත් භාවිත කරමින් මුදල් වංචා කළ ප‍්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ, පිළියන්දල මඩපාත සහ ගාල්ල යන ප‍්‍රදේශවලදීයි.

ඒ. ටී. එම්. යන්ත‍්‍රවලින් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් සොරාගෙන ඇති බවට පෞද්ගලික බැංකුවක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙහෙයුම් සිදු කෙරුණා.

එහි දී අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 41ක්, රිවෝල්වර දෙකක්, උණ්ඩ කිහිපයක් සහ ඒ. ටී. එම්. කාඞ්පත් 192 ක් සොයාගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශයෙකු සඳහන් කළේ සැකකරුවන් විසින් විශේෂ අධි තාක්ෂණික උපකරණයක් මගින් ඒ. ටී. එම්. යන්ත‍්‍රවලින් දත්ත සොරාගනු ලැබ ඇති බවයි.

ඒවා ඒ. ටී. එම්. කාඩ්පත්වලට ඇතුළත් කර මුදල් ලබාගෙන ඇති බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. ඒ, මාතර, මිරිස්ස, අම්බලන්තොට, පිළියන්දල හා කතරගම යන ප‍්‍රදේශවලදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 හා 33 යන වයස් සීමාවල පසුවන්නන්.

රඳවා ගැනීමේ නියෝග මත ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.