Sunday, December 22, 2024

General line - 0115112241

රත්නසිරි වික්‍රමනායකගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්




අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට (28) පෙරවරුවෙහි පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට නියමිතයිහෙට පෙරවරු 10.30ත් 11.30ත් අතර කාලය තුල අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන ලෙස සියළුම මන්ත්‍රීවරුන් වෙත කථානායකවරයා දැනුම් දී තිබෙනවා.

රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ හොරණ පිහිටි නිවස වෙත දේහය රැගෙන යන්නේ ඉන් අනතුරුවයි. අවසන් කටයුතු ලබන 31 වැනිදා සිදු කරන බවයි ඥාතීන් කියා සිටියේ. කෙසේ වෙතත් අවසන් කටයුතු සිදු කරන ස්ථානය තවමත් තීරණය කර නැහැ.

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. 

හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අභාවය වාර්තා වීමත් සමග තමන් දැඩි සංවේගයට පත් වූ බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ. රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ග‍්‍රාමීය ප‍්‍රභූ නායකත්වයේ ප‍්‍රමුඛ නියෝජනයක් සංකේතවත් කළ පරිනත දේශපාලඥයෙකු වූ රත්නසිරි වික‍්‍රමනායක මහතා ලාංකේය දේශපාලනය තුළ අනන්‍යගත වන්නේ ඍජුව අදහස් පල කළ දේශපාලඥයෙකු ලෙසට බව ද එම ශෝක පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කිසිදිනෙක තනතුරු පසුපස නොගිය චරිතයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා අද (27) පස්වරුවේදී අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රතිකාර ගත් රෝහලේදී ඔහුගේ පවුලේ ඥාතීන් හමුවීමට පැමිණියා.

එහිදී හෙතෙම මෙම අදහස් පළ කළා.