Monday, December 23, 2024

General line - 0115112241

සුපිරි ඇමති මැදරටදීත් පරදියි (UPDATE)




සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාවේ දී අද පරාජයට පත් වුණා. ඊට විපක්ෂව ඡන්ද 32 ක් ප‍්‍රකාශ වූ අතර කිසිදු මන්ත‍්‍රීවරයෙකු ඊට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළේ නැහැ.

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත විපක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළේ පාලක පක්ෂයේ මන්ත‍්‍රීවරුන්. කෙසේ වෙතත් පාලක පක්ෂයේම මන්ත‍්‍රීවරුන් 03 දෙනෙකු සහ මන්ත‍්‍රීවරියක් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඒ, ආර්, ජී. සමරනායක, ශ‍්‍රීධරන් සෝමසුන්දරම් සහ සිං පොන්නයියා යන මන්ත‍්‍රීවරුන් සහ ශිවගුරු සරස්වතී මන්ත‍්‍රීවරියයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විවාදයක් නොමැතිව මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ඡුන්ද විමසීමක් පැවැත්වීමට විරෝධය පල කරමින් සභාවෙන් පිටව ගියා.

……………………………………

සුපිරි ඇමති අද මධ්‍යම පළාතට

Dec 28, 2016 @ 06:58

සුපිරි අමාත්‍යවරයෙකු බිහි කෙරෙන බව කියන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද (28) මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. තවත් පළාත් සභා කිහිපයක දී මෙන්ම මධ්‍යම පළාත් සභාවේදීත් මෙම කෙටුම්පත පරාජය කරවීමට කටයුතු කරන බව මහනුවර පළාත් පාලන නියෝජිතයින්ගේ සංගමය කියා සිටියා.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසන්නේ සංවර්ධනයට කැමති කිසිදු පළාත් සභාවක් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට එරෙහි නොවිය යුතු බවයි. මධ්‍යම ආණ්ඩුවේ සහය නොමැතිව පළාත් සභා පවත්වාගෙන යා නොහැකි බව ද ඔහු පැවසුවා.

මේ අතර ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කියා සිටියේ ප‍්‍රශ්නගත කෙටුම්පතට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් මණ්ඩලයේ දී එරෙහි නොවී ඉන් පිටත දී පමණක් එරෙහි වන්නේ මන්දැයි විමතියට පත්වන බවයි.

ප‍්‍රශ්නගත කෙටුම්පත දකුණ සහ සබරගමුව යන පළාත් සභාවල දී ඊයේ පරාජය වුණා. මීට පෙර ඌව, උතුරු මැද සහ උතුර යන පළාත් සභාවලදී ද එම කෙටුම්පත පරාජය වූ අතර නැගෙනහිර පළාත් සභාව තීරණය කළේ ඒ පිළිබඳ ඡන්ද විමසීම මීළඟ සභා වාරයේ දී පැවැත්වීමටයි.