රටපුරා සියලූ පළාත් සභා රෝහල්වල සෞඛ්‍ය රියදුරන් අද (28) අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වනවා. ඒ, උතුරුමැද පළාතේ රෝහල්වල සෞඛ්‍ය රියදුරන් දින හතක් තිස්සේ සිදු කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පල කරමින්. උතුරුමැද පළාතේ පමණක් මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල සෞඛ්‍ය රියදුරන් ද අද අසනීප නිවාඩු වාර්තාකර සේවයෙන් ඉවත්වීමට නියමිතයි.
මීට අමතරව උතුරුමැද පළාතේ රෝහල්වල කණිෂ්ඨ සේවකයින් ද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය පල කරමින් අද අසනීප නිවාඩු වාර්තා කරන බව රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියදුරු සංගමය පැවසුවා.
උතුරුමැද පළාතේ සෞඛ්‍ය රියදුරන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ සෞඛ්‍ය රියදුරන් ඒකාබද්ධ රියදුරු සේවාවට අන්තර්ග්‍රහණය කිරීමට විරෝධය පල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහායි. අද දිනයේ ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේ දී වඩාත් දැඩි ක්‍රියාමාර්ගවලට යොමුවන බව ඔවුන් අවධාරණය කළා.