Monday, December 23, 2024

General line - 0115112241

සුමන්තිරන් කළ ප‍්‍රකාශය ආන්දෝලනයට තුඩු දෙයි




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව පිළිගත නොහැකි බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් කළ ප‍්‍රකාශය මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබෙනවා.

නාවික හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු ඇතුළු 5 දෙනෙකු මෙම නඩුවේ චූදිතයින් ලෙස නම් කර සිටි අතර ඔවුන් සියලු දෙනා නිදොස්කොට නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණය නියෝග කළේ.

එහෙත් නඩුව විභාග කළේ සිංහල ජූරි සභාවක් බැවින් ලබාදුන් තීන්දුව පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් පැවසුවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නීතිවේදීන් කිහිපදෙනෙකුගෙන් ද ප‍්‍රශ්න කළා. ආචාර්ය ප‍්‍රතිභා මහනාම හේවා පැවසුවේ අධිකරණයේ භාෂාව කුමක් විය යුතුදැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති බවයි. එහිදී ඔහු පැවසුවේ උතුරු නැගෙනහිර දෙමළ භාෂාවත් අනෙත් පැතිවල සිංහල භාෂාවත් යනුවෙන් පැහැදිළිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති බවයි.

නීතිඥ යූ.ආර්. ද සිල්වා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පැවසුවේ නඩුවක් විභාග වන අවස්ථාවේ නොව තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු එය විවේචනය කිරීමට පුද්ගලයෙකුට අයිතියක් තිබෙන බවයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ඉදිරියේදී අභියාචනයක් ගොනු කරන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදි ඔහු සඳහන් කළේ ජූරි සභාවේ සියලු දෙනා සිංහල වීම පදනම් කරගෙන අදාළ නඩු තීන්දුව පිළිගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීම ජාතිවාදය ඇවිස්සීමේ උත්සහයක් ඇති බවයි. ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෙන් එදා තිස්ස අත්තනායකට ඇප ලබා නොදුන්නේ නම් අද ඊට වඩා තදින් සුමන්තිරන් මන්ත්‍රීවරයාට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළා.