Monday, December 23, 2024

General line - 0115112241

දඩ නැතිව වාහන පැවරීමට දුන් සහන කාලය අදින් අවසන් – තවත් පමාවෙන අයට වෙන දේ




දඩ අයකිරීමකින් තොරව වාහන පැවරීම් සඳහා ලබා දී තිබූ සහන කාලය අදින් අවසන් වනවා.

මෙම සහන කාලය නැවත දීර්ඝ නොකරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසුවේ.

කෙසේ වෙතත් අද දිනය තුළ උපරිම අයදුම්පත් සංඛ්‍යාවක් භාරගැනීමට කටයුතු කරන බව නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු කියා සිටියා.

වාහන පැවරීම් ඇතුළු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරී ඉටුකරවා ගැනීම සඳහා කිසිවෙකුට හෝ අල්ලස් ලබා නොදෙන්නැයි ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

වාහන පැවරීම්වල දී වාහනයේ හිමිකම ගැනුම්කරුගේ නමට ලියාපදිංචි නොකොට විවෘත ලේඛන මත වාහන ගනුදෙනු සිදු කිරීමට බොහෝ අය පෙළඹී සි්ටිනවා.

එමගින් පරිපාලන සහ ආරක්ෂාව පිළිබදවද ගැටළු මතුවන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

ඒ අනුව තවමත් තමන් නමට ලියාපදිංචි කරනොගත් වාහන කඩිනමින් තමන් නමට ලියාපදිංචි කර ගැනීමට වාහන හිමිකරුවන් උනන්දු කරවීම සඳහා මෙම සහන කාලය ලබාදුන්නා.

පවතින රෙගුලාසිවලට අනුව වාහන ගනුදෙනුවක් සිදු වී දින 14 ක් ඇතුළත එම වාහනය නව හිමිකරුගේ නමින් ලියාපදිංචි කළ යුතුයි.

සහන කාලය අවසන් වීමෙන් පසු ඊට වඩා ප්‍රමාද වන ලියාපදිංචි කිරීම් සඳහා ප්‍රමාද වන එක් දිනකට රුපියල් සියය බැගින් දඩ අය කෙරෙනු ඇති.