Monday, December 23, 2024

General line - 0115112241

ගාලු පාරේ නීති කැඩුවේ පොලිස් ලොක්කෙක්ද ?




මාර්ග නීති උල්ලංඝනය කරමින් මෝටර් රථයක් ධාවනය කිරීමට පොලිස් නිලධාරීන් සහාය ලබාදුන් පුවතක් දෙහිවල ගුවන් පාලම ආසන්නයෙන් අද (30) පස්වරුවේ වාර්තා වුණා.

WP KX 58 66 දරන සුදු පැහැති මෝටර් රථය මෙලෙස මාර්ගය නීති උල්ලංඝනය කරමින් දෙහිවල ප‍්‍රදේශයේ ධාවනය කෙරුණේ අද පස්වරුවේයි.

ගාලු පාරේ කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ සිට ගාල්ල දෙසට වාහන හැරවීම වළක්වාලමින් යොදා තිබූ කෝන් ඉවත් කරමින් මෙම රථය ධාවනය කිරීමට ඉඩ සලස්වා ඇත්තේ එම මෝටර් රථය තුළ සිටි පොලිස් නිලධාරියෙකු බවයි සිද්ධිය ඇසින් දුටූවන් පැවසුවේ.

පසුව එම පොලිස් නිලධාරියා යළි මෝටර් රථයට ඇතුළු වන තුරු අදාළ රථය මාර්ගයේ ධාවනය වූ සෙසු වාහනවලට ද අවහිරයක් වන පරිදි නතර කරගෙන සිටි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්පසු කෙටි දුරක් ගාල්ල දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය දෙහිවල පාලම ආසන්නයෙන් තහනම් ස්ථානයකදී යූ හැඩයේ හැරවුමක් සිදුකර ඇත්තේ මාර්ග රාජකාරීවල යෙදී සිටි පොලිස් නිලධාරීන් ඉදිරියේදීයි.

අදාළ පොලිස් නිලධාරීන් රථය තුළ සිටි පුද්ගලයෙකුට ආචාර කළ බවද සිද්ධිය දුටු පිරිස් නෙත් නිවුස් වෙත පැවසුවා. ඒ අනුව බොහෝ දුරට මෙම රථය පොලිසියේ ඉහළ නිලධාරියෙකුගේ යැයි සැක කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ රථයේ අංකය සිද්ධිය දුටුවන් ප‍්‍රකාශ කරන බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වවල අවධානය යොමුවිය යුතු බව නෙත් නිවුස් අවධාරණය කරනවා.