විදේශගත ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සඳහා නීති රීති දැඩි කරන විට කූඨ ව්‍යාපාරිකයින් විදේශ රැකියා අමාත්‍යාංශයට නොයෙක් චෝදනා කරන බවත් කුමන අභියෝග පැමිණියත් විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන පියවර ලිහිල් නොකරන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
විදේශගත ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් ගාල්ල නගර ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවා.
කිසිවෙකුටවත් බිය වී විදේශගත ශ්‍රමිකයින්ගේ ජීවිත උකසට තැබීමට කටයුතු නොකරන බවයි එහිදී ඔහු සඳහන් කළේ.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවා,
“විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් ගැන කතා කරන විට සමාජයේ ඇති කතිකාව තරමක් වෙනස්. අද දරුවන් තාත්තා ළග දමා අම්මලා විදේශ රැකියා සඳහා පිටත්ව යනවා. තාත්තා බීමතට ඇබ්බැහි වෙලා දරුවන් සමාජයේ අනාථ වන ආකාරය ගැන තොරතුරු අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මෙතැන අද ඇවිත් ඉන්නේ එ් සියලුම කතා බිද දමා ජීවිතය ජයගන්නා දරුවන්. මේ දරුවන්ගේ අම්මලා තාත්තලා විදේශ ගත වෙලා ඉන්නේ මේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරිමටයි.”
“අද වන විට මාධ්‍ය ඉතා ප්‍රභල තැනකට ඇවිත් තිබෙනවා. සමාජ ජාල වෙබ් අඩවිත් අද ජනප්‍රිය වෙලා. එ්වා හරහා නැති දේවල් මවා පෙන්වනවා. ඇතැම් සුළු සිද්ධීන් විශාල සිදුවීම් ලෙස මවා පානවා. විදේශ රැකියාවක නිරත වෙමින් සිටියදී රෝගී තත්වයකට පත්ව රෝහලක සිටින මවක් ලංකාවට ගෙනවිත් දෙන්න කියලා ඉල්ලීම් පසුගිය සතියේ පත්තරයක පළ වෙලා තිබුණා. හැබැයි එ් ලිපිය දෙස බැලුවම විදේශ රැකියා අමාත්‍යාංශය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා හිතෙන්න පුලුවන්. මේ ලිපිය දැකපු එක මහත්මයෙක් මට කතා කළා. එම කාන්තාව ගෙන්වා ගැනීමට රජයට මුදල් අවශ්‍ය නම් මුදල් වියදම් කිරීමට ඔහු සූදානම් බව කිව්වා. මම ඔහුට කිව්වේ විදේශ රැකියාවල නිරතව සිටියදී කිසියම් කරදරයකට පත් වෙලා ඉන්න අයෙක් වේ නම් එ් අය ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලුම පියවර අපි අරගෙන තිබෙන බව මම පැහැදිළි කළා. එහෙම ගෙන්වා ගැනීමට නොහැකි වෙලා තිබෙන්නේ නීතිමය ප්‍රශ්ණ හෝ වෛද්‍ය උපදෙස් මත ඔවුන් ගෙන්වා ගැනීමට නොහැකි වන අවස්ථාවලදී පමණයි. මේ සිද්ධියේදීත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ තානාපති කාර්යාලය මැදිහත් වෙලා තිබෙනවා. එම කාන්තාවගේ රෝගී තත්වය පිළිබද සෑම දිනකම තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ගොස් සොයා බලනවා. රෝගී තත්වය සුවවූ පසුව ඇය ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.”