Sunday, December 22, 2024

General line - 0115112241

“අගමැතිතුමා හැමතිස්සෙම කිව්වා ලෑස්ති වෙලා ඉන්න කියලා”




පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අවශ්‍යතාවක් නැතැයි අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ සීමා නිර්ණ කමිටුවේ අවසන් වාර්තාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා තවමත් අත්සන් නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “අගමැතිතුමා අපිට හැම තිස්සෙම කිව්වෙ පළාත් පාලන මැතිවරණයට සූදානම් වෙන්න කියලයි. ඉතින් එතුමට මේක කල්දැමිමේ අදහසක් තිබුණෙ නැහැ. නියෝජිතයා අත්සන් නොකලෙ ඇයි කියලා එයා තමයි දන්නෙ..මම දන්නෙ නැහැ.” යනුවෙනි

සීමා නිර්ණ කමිටුව පස් දෙනෙකුගෙන් සමන්විතයි. එහි අවසන් වාර්තාව සභාපතිවරයා විසින් ඉකුත් දා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දුන්නත් ඒ වන විට ඊට අත්සන් තබා තිබුණේ සාමාජිකයින් තුන් දෙනෙකු පමණක් බැවින් අමාත්‍යවරයා අදාළ වාර්තාව භාරගත්තේ නැහැ.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම හැසිරීම පිළිගත නොහැකි බව ඇතැම් පිරිස් චෝදනා කළා.

අමාත්‍යවරයාට භාරදෙන විට අදාළ වාර්තාවට අත්සන් තබා නොතිබුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයායි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයා වන හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් ඊයේ (04) ඊට අත්සන් තැබුවා.

ඒ අනුව තවමත් එම වාර්තාවට අත්සන් තබා නැත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා වන නීතිඥ මිස්බාර් සතාර් පමණයි.