Monday, December 23, 2024

General line - 0115112241

වෙලේ සුදාගේ මව රිමාන්ඩ් (UPDATE)




හෙරොයින් සමග අත්අඩංගුවට ගැණුනු මත්ද්‍රව්‍ය ජාවාරම්කාර වෙලේ සුදාගේ මව ජනාවාරි මස 19 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.

රජගල්ගොඩගේ මාලනී නමැති හැට හැවිරිදි මෙම සැකකාරිය සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (05) රාති‍්‍රයේයි. ඒ, වැල්ලවත්ත රාජගුරු ශී‍්‍ර සුභූති මාවතේ සිදුකළ වැටලීමකදීයි.

සැකකාරියගේ ඥාති පුත‍්‍රයෙකුද මෙහිදී අත්අඩංගුවට ගැණුනා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 ක් සොයාගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

සැකකාර කාන්තාව අද දිනයේ බී වාර්තාවක් මගින් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.

හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධවීමේ චෝදනාවලට වරදකරු වූ ගම්පොල විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට මරණ දඩුවම නියම වී තිබෙනවා.

මේ අතර වෙලේ සුදාගේ සහෝදරයෙකුද ගංජා මිලිග‍්‍රෑම් එක්දහස් අටසිය පනහක් සමග අද (06) අත්අඩංගුවට ගැණුනු බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඩ නියම කිරීමෙන් පසු මුදාහැර තිබෙනවා.


වෙලේ සුදාගේ මව හෙරොයින් සමග අත්අඩංගුවට

Jan 6, 2017 @ 15:59

ප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර වෙලේ සුදා නමැත්තාගේ මව හෙරොයින් සන්තකව සිටියදී සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වැල්ලවත්ත රාජගුරු ශී‍්‍ර සුභූති මාවතේදී සිදුකළ වැටලීමකදියි.

එම වැටලීමේදී හැට හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ ඥාති පුත‍්‍රයෙකු බව කියන 28 හැවිරිදි පුද්ගලයෙකු හෙරොයින් ග‍්‍රෑම් 10 සමග අත්අඩංගුවට ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

අනතුරුව සිදුකෙරුණු ප‍්‍රශ්න කිරීම්වලදි සැකකාර කාන්තාව රජගල්ගොඩගේ මාලනී බවත් ඇය වෙලේ සුදා නමැත්තාගේ මව වන බවත් අනාවරණ වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.