Monday, December 23, 2024

General line - 0115112241

ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමත් ජාත්‍යන්තර බලපෑමක්දැයි සැකයක්




යාපනය සහ මන්නාරම මුහුදු ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවරයින් 51 දෙනෙකු අධිකරණ නියෝගයක් අනුව නිදහස් කර තිඛෙනවා. උතුරු පළාත භාර ධීවර අධ්‍යක්ෂ පී. මිරැන්ඩෝ පැවසුවේ මෙම අධිකරණ නියෝගය හදිසියේම ලබාදුන් එකක් බවයි.

අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවරයින් මෙලෙස නිදහස් කිරීම සම්න්ධයෙන් උතුරේ ධීවර වෘත්තීය සමිති ද විමතිය පළ කරනවා. ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගැනෙන ඉන්දීය ධීවරයින් ඉතා ඉක්මනින් නිදහස් කෙරුණ ද ඉන්දියාව විසින් අත්අඩංගුවට ගැනෙන ශ්‍රී ලාංකික ධීවරයින්ට එවැනි සහනයක් නොලැඛෙන බවයි. මේ වන විටත් ශ්‍රී ලාංකික ධීවරයින් 50කට වඩා වැඩි පිරිසක් ඉන්දීය අත්අඩංගුවේ පසුවන බවද මෙහිදී සිහිපත් කෙරුණා.

මේ අතර තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ නව මහලේකම් වී.කේ. ශෂිකලා ශ්‍රී ලංකාවෙන් ඉකුත් දා ඉල්ලා සිටියේ එළැඹෙන තයිපොංගල් උත්සවයට පෙර ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙසයි. ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය ඕ. පනීර් සෙල්වම් ඉකුත් දා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ද ඉල්ලීමක් කළා. උතුරේ ධීවර වෘත්තීය සමිති පවසන්නේ ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ මෙවැනි බලපෑම්වලට යටත්වදැයි සැකයක් ද ඇති වන බවයි.