ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී අදට වසර දෙකක් සපිරෙනවා.
ඒ වෙනුවෙන් තබන සටහනක් පහතින් දැක්වෙයි.
ජනපති පදවි ප්රාප්ති දෙවන වර්ෂ පූර්ණය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.
ඒ අනුව මේ පිළිබඳ කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේදී විශේෂ ආගමික වැඩහටහනක් සංවිධානය කර ඇති බවයි. එමෙන්ම සවස බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි. විදෙස් නියෝජිතයන් කිහිපදෙනෙකුද ඊට එක්වනු ඇති.
ඒ අනුව ජනපති පදවි ප්රාප්ති දෙවන වර්ෂ පූර්ණය නිමිත්තෙන් ‘‘තිරසර යුගයක – තෙවසරක ඇරඹුම’’ ජාතික උත්සවයද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.
මේ අතර ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රැඳවියන් 285 දෙනෙකුට අද (08) නිදහස ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියා සිටියේ ජනපති පොදු සමාව යටතේ ඔවුන්ට නිදහස හිමිවන බවයි.
ඒ අනුව මහර බන්ධනාගාරයේ රැඳවියන් 33 දෙනෙකු, අනුරාධපුර බන්ධනාාගරයේ රැඳවියන් 23 දෙනෙකු හා වාරියපොළ බන්ධනාගාරයේ රැඳවියන් විසි දෙදෙනෙකු ද ඒ අතරට අයත්.
වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස ලබන්නේ 14 දෙනෙකු පමණයි. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටි රැඳවියන් පිරිසකටයි මෙලෙස නිදහස හිමිවන්නේ. එවැනි වරදකට නිදහස ලැබූවද මෙම පිරිස අතර සිටින 23 දෙනෙකුට තවදුරටත් බන්ධනාගාරයේ රැඳී සිටීමට සිදුවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඊට හේතුවී ඇත්තේ වෙනත් වැරදි සම්බන්ධයෙන් ඔවුන් දඬුවමට ලක්ව සිටීමයි.