Friday, September 20, 2024

General line - 0115112241

EXCLUSIVE: ලංකාවට පැමිණි ඉන්දීය හමුදාවෙන් ‘JR’ ට එල්ල වූ තවත් බලපෑමක් හෙළිවෙයි




හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට යුද සමයේ දී ඉන්දියාවෙන් විවිධ බලපෑම් එල්ල වූ බව එවකට පැවති රජයේ පුනරුත්තාපන අමාත්‍යංශයේ ලේකම් සහ වර්තමානයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔස්ටින් ප‍්‍රනාන්දු පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ශී‍්‍ර ලංකාවේ යුද සමයේදී කළ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත ඊයේ (05) කර තිබූ වාර්තාව පදනම් කර ගනිමින් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

(ඒ පිළිබඳව වැඩිදුරටත් සිදු කළ අනාවරණය පහතින් දැක්වෙයි)

ඔස්ටින් ප‍්‍රනාන්දු එහිදී අවධාරණය කළේ ඉන්දීය සාමසාධක හමුදාවේ සාමාජිකයෙකු විසින් තී‍්‍රකුණාමලය චීන වරාය බෝධිරාජාරාම විහාරස්ථානයේ හිටපු විහාරාධිපති හිිමියන් වන පූජ්‍ය රඹුකන සද්ධාලංකාර නාහිමියන් ඝාතනය කළ බවට ද තොරතුරු පළ වූ බවයි.

මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා තමන් සහ එවකට ආරක්ෂක ලේකම් ජෙනරාල් සේපාල ආටිගල ඇතුළු පිරිසක් අදාළ විහාරස්ථානයට ගිය බව ඔස්ටින් ප‍්‍රනාන්දු කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ “අපි ඒ වෙලාවේ මේ සිද්ධිය ගැන හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට දැනුම් දුන්නා. එතකොට එතුමා කිව්වේ අපිට වෙන වෙන ක්‍රියාමාර්ග ගන්න වෙයි කියලා. හැබැයි මම හිතන්නේ එතුමාට ඒ වෙලාවේ වෙන මාර්ගයක් තිබුණද කියන එක සැකයි.” යනුවෙනි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

මේ පිළිබඳව නෙත් නිවුස් තී‍්‍රකුණාමලය චීන වරාය බෝධිරාජාරාම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස නාහිිමියන්ගෙන් විමසීමක් කළා.

එහිදී “ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ සාම සාධක හමුදාව ලෙස පළමුවෙන්ම ලංකාවට එව්වේ තමිල්නාඩුවේ හමුදාවයි. ඔවුන් දින 05 ක් සිංහලයින් ගහලා පැන්නුවා. සමහර අය ඝාතනය කළා. හබරනින් එහාට එන්න දුන්නේ නැහැ. ඒ වෙලාවේ එවකට හිටිය දිසාපතිලා පවා අසරණ වුණා ජනතාවට ආරක්ෂාව දෙන්නෙ කොහොමද කියලා. ඉන්දු ලංකා ගිවිසුමේ එක කොන්දේසියක් අනුව ශ්‍රී ලංකා පොලිසිය සහ හමුදාව කඳවුරුවලට සීමා කරලා තිබුණා. හැබැයි අපේ ලොකු හාමුදුරුවෝ ඉස්සරහට ගියා.” යනුවෙන් ද පැවසුවා.

පැවති තත්වය පාලනය කිරිම සඳහා පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි විහාරාධිපති හිමියන් ඊට මැදිහත් වූ ආකාරය පිළිබඳව ද උන්වහන්සේ මෙලෙස පැහැදිලි කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

ඉන්දීය සාම සාධක හමුදා නිලධාරීන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව විහාරාධිපති හිමියන් ඝාතනය වූ ආකාරය පිළිබඳවද පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස හිමියන් විස්තර කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

එවකට එල්.ටී.ටි.ඊය විසින් ඝාතනය කළ බව කියන පුද්ගලයින් සඳහා වන්දි ගෙවීමට රජය සූදානම් වුවද විහාරාධිපති හිමියන් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට තමන් ඉදිරිපත් නොවූ බවයි උන්වහන්සේ කියා සිටියේ. ඊට හේතුවද උන්වහන්සේ පැහැදිලි කළා.

“රජයෙන් වන්දිය ගන්න පත්‍රිකාවක් සම්පූර්ණ කළ යුතුව තිබුණා. ඒකේ ත්‍රස්තවාදීන් විසින් මෙම ඝාතන සිදු කළා කියලා සඳහන් කරන්න ඕනේ. හැබැයි මම හැම වෙලේම ඒ පත්‍රිකාවල ලිව්වේ ඉන්දීය සාම සාධක හමුදාව විසින් ඝාතනය කළාය කියලා.ඒ නිසා තමයි ඒ සම්බන්ධයෙන් මට වන්දියක් ලැබුණෙ නැත්තෙ. අද වෙනකොටත් ඒ අවස්ථාවේ හිටපු ජනතාව ත්‍රිකුණාමලයේ ජීවත් වෙනවා.”

ඔස්ටින් ප‍්‍රනාන්දු විසින් රචිත ‘‘මයි බෙලී ඊස් වයිට්’’ නම් වූ කෘතියේද මෙම සිද්ධිය සඳහන් කර තිබෙනවා.