Friday, September 20, 2024

General line - 0115112241

අක්ෂි සැත්කම්වලට අවශ්‍ය යන්ත්‍ර කඩිනමින් රෝහල් වෙත




අක්ෂි කාච සැත්කම් සඳහා අවශ්‍ය යන්ත‍්‍ර හැකි ඉක්මණින් රෝහල් සඳහා ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ ඊට අදාළ ප‍්‍රසම්පාදන කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

අක්ෂි කාච සැත්කම් සඳහා අවශ්‍ය කාච රජයේ රෝහල් හරහා නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත්දා තීරණය කළා. එහි පැවති යම් යම් අඩුපාඩු හේතුවෙන් රෝගීන් රැසක් පීඩාවට පත් වූ බවයි නෙත් නිවුස් කළ සොයාබැලීම්වල දී හෙළි වුණේ්.

කෙසේ වෙතත් පසුව සැත්කම් සඳහා අවශ්‍ය අක්ෂි කාච ලබා දුන්න ද ඒ සඳහා අවශ්‍ය යන්ත‍්‍ර රෝහල්වල නොමැති වීම හේතුවෙන් යළි ගැටළුකාරී තත්වයක් ඇති වුණා. මේ වනවිට ඊට ද අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ.

රජයේ ඔසුසැල් හරහා අක්ෂි කාච මිල දී ගෙන රෝගීන් වෙත ලබාදීම මේ වනවිට සිදු කෙරෙනවා. සැත්කම් සඳහා අවශ්‍ය යන්ත‍්‍ර ද එම ක‍්‍රමවේදය යටතේම අවශ්‍ය රෝහල් සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.