කටුකුරුන්ද මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීම හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඒ සඳහා නාවික හමුදාව සමඟ ප්‍රදේශයේ ධීවරයින් ද එක්ව සිටින බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් ද යොදවා තිබෙනවා.
ඊයේ දහවල් සිදු වූ මෙම අනතුරෙන් මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ මල සිරුරු මේ වනවිට සොයා ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු වන බවයි පොලිසිය පවසන්නේ.
දියේ ගිලී සිටිය දී බේරාගත් තවත් පුද්ගලයින් 17 දෙනෙකු බේරුවල රෝහලේ ප්‍රතිකාර ලබනවා. කළුතර නාගොඩ රෝහලේ ද තවත් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අනතුරට පත් බහුදින ධීවර යාත්‍රාවේ ගමන් කළ පුද්ගලයින් කිසිවෙකුත් ජීවිතාරක්ෂක කබා භාවිත කර නොමැති බවයි නාවික හමුදාව පවසන්නේ. මේ සම්බන්ධයෙන් කරුණු දැක් වූයේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ විසිනි.
මුහුදු ගමන් සිදු කිරීමේ දී තම ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව වඩාත් අවධානය යොමු කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බහුදින ධීවර යාත්‍රා නිසි පරිදි නියාමනය කෙරුණ ද ඒ සම්බන්ධයෙන් යාත්‍රා හිමිකරුවන් හෝ ජනතාව නිසි අවධානයක් යොමු නොකරන බවයි ලූතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මෙහිදී ප්‍රකාශ කළේ.
මෙම සිද්ධිය හරහා මෙරට සංචාරක කර්මාන්තයට ද බරපතල හානියක් සිදුවිය හැකි බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේ.