Saturday, September 21, 2024

General line - 0115112241

විමල් වීරවංශ යළිත් රිමාන්ඩ් (PHOTO)




රාජ්‍ය දේපල අවභාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි. 

අදාළ චෝදනාව යටතේම මන්ත්‍රීවරයා සමඟම අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදා හැරීමට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. 

ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ.

ඊට අමතරව හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට දිනපතා පුවත්පත් පරිශීලනය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

එමෙන්ම එල් ටී ටී ඊ රැඳවූවන් ද මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බැවින් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් අවධානයක් යොමු කරන්නැයි ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

විමල් වීරවංශ මන්ත්‍රීවරයා රඳවා සිටින කුටිය දිනපතා පස්වරු 5.30ට වසා දමන අතර එය යළි විවෘත කෙරෙන්නේ උදෑසන 6ටයි.

එය මන්ත්‍රීවරයාගේ දින චර්යාවට බාධාවක් බැවින් ඒ සම්බන්ධයෙන් ද සලකා බලන්නැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.