Tuesday, September 17, 2024

General line - 0115112241

රජයේ මුද්‍රණාලයාධිපති බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනයට අද ජනාධිපති කොමිසම හමුවට




රජයේ මුද්‍රණාලයාධිපති ගංඟානි කල්පනී ලියනගේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබෙනවා. 

ඒ, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේදී දිනය සම්බන්ධයෙන් මතු වූ ගැටලූ සහගත තත්ත්වය පිළිබඳ කරුණු දැක්වීමටයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපති ගංඟානි කල්පනී ලියනගේගෙන් විමසීමක් කළා. 

ඇය කියා සිටියේ අදාළ සිද්ධියේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කිසිදු වරදක් සිදුව නොමැති බවයි. මතභේදයකට තුඩු දී ඇති මෙම ගැසට් නිවේදනය මුද්‍රණය කළ ආකාරය සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වීමට සූදානම් බවද රජයේ මුද්‍රණාලයාධිපති සඳහන් කළේ. 

අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දිනය සම්බන්ධයෙන් මතු වූ ගැටලූ සහගත තත්ත්වයක් හේතුවෙන් බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය තාවකාලිකව අත්හිටුවීමටයි ඉකුත් 23 වෙනිදා තීරණය කෙරුණේ.

එම දිනය කවදාදැයි නිවැරදිව හෙළිකර ගැනීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට ද එහිදී තීරණය කෙරුණා. 

මතභේදයට තුඩු දී ඇති අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත්තේ 2015 ජනවාරි පළමුවෙනිදා යන දිනයයි. 

මුදල් අමාත්‍යංශය පැවසුවේ එවකට මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් එය නිකුත් කරනු ලැබ ඇති බවයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ දේශපාලන වේදිකාවේ දැඩි කතාබහක් මතු වුණා. හාරිස්පත්තුව ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අදහස් පළ කළා. 

කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශය පවසන්නේ පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී මහබැංකුව නීති උල්ලංඝනය කර ඇතැයි අනාවරණ වී ඇති බවයි. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා එවකට මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ඔවුන්ට හිතැති මහබැංකු නිලධාරීන් සමග එක්ව රාජ්‍ය ණය ප්‍රෝඩාකාරී ලෙස කලමනාකරණය කර ඇති බවද මුදල් අමාත්‍යංශය කියා සිටියා.