Friday, September 20, 2024

General line - 0115112241

වනජීවීන්ට තර්ජන




ශ‍්‍රී ලංකාවේ වෙසෙන වනජීවීන් තර්ජන කිහිපයකට මුහුණ දී සිටින බව පරිසරවේදීන් පවසනවා.

ඔවුන් ඒ බව පැවසුවේ අදට (03) යෙදී ඇති ලෝක වනජීවී දිනය වෙනුවෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි. 

ශ‍්‍රී ලංකාවේ පක්ෂි විශේෂ පමණක් 450 කටත් වැඩියෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අතරින් විශේෂ 34 ක් ශ‍්‍රී ලංකාවට ආවේණිකයි. සෙසු සත්ත්ව කාණ්ඩ අතර ද ශ‍්‍රී ලංකාවට ආවේණික විශේෂ බොහෝමයක් සිටිනවා.

කෙසේ වෙතත් කරුණු කිහිපයක් නිසා මෙම වනජීවීන් තර්ජනයට ලක්ව සිටින බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ.

ඒ අනුව එම සතුන්ගේ වාවස්ථාන විනාශ වීම්, නීතිවිරෝධී අයුරින් සත්ත්වයින් විදේශගත කරවීම්, පරිසර දූෂණය නිසා ඇතිවන බලපෑම්, සුරතල් සතුන් ලෙස ඇති කිරීමට අල්ලා ගැනීම වැනි කරුණු බලපා ඇති බවයි ඔහු සඳහන් කළේ.

වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරුණා.

එහිදී ඔහු සඳහන් කළේ දැනට සත්ත්ව ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර ඇති ස්ථාන ක්‍රියාකාරී ලෙස ආරක්ෂා කිරීම, දැනට ස්ථානීය ආවේනික සත්ත්ව සහ ශාක ලෙස හඳුනාගෙන ඇති බොහෝ ප්‍රදේශ අනාරක්ෂිත බැවින් ඒවා නිසි අවධානයකට ලක් කර ආරක්ෂා කිරීම සහ සත්ත්ව සහ ශාක විනාශ කරන්නන්ට දඬුවම් දැඩි කිරීම ආදිය සිදු විය යුතු බවයි. 

කලාපයීය සෙසු රටවල් සැලකීමේදී වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත්ව නීති පද්ධතියක් ඇත්තේ ශ‍්‍රී ලංකාවේ බවද නීතිඥ ජගත් ගුණවර්ධන පවසනවා. එසේ නම් අවශ්‍ය වන්නේ එම නීතීන් නිසි ලෙස කි‍්‍රයාත්මක කරවීමයි. 

සෑම ජීවියෙකුගේම විනාශ වී යාම අවසානයේදී මිනිස් වර්ගයාගේ පැවැත්මට ද තදබල ලෙස බලපෑමක් ඇති කරන බව සිහි තබාගත යුතු වනවා.