Wednesday, December 25, 2024

General line - 0115112241

මාර්ග සංඥා පුවරු රැසක් කොත්තු කඩවල




හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග රැසක මාර්ග සංඥා පුවරු ගලවාගෙන ගොස් කොත්තු රොටි ගැසීමට යොදාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

හම්බන්තොට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය ඉංජිනේරු ඩී.සී ලයනල් අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මේ බව හෙළි කළා.

මාර්ග සංඥා යොදා ඇති මෙම යකඩ පුවරු ඉතා ශක්තිමත් බැවින් කොත්තු රොටි ගසන වෙළඳසැල්වල තිබී තමාට හමුවූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එසේ කොත්තු රොටි සඳහා භාවිතා කරමින් තිබූ මාර්ග සංඥා පුවරු කිහිපයක් තමා එම වෙළඳසැල්වලින් ලබා ගත් බවද, තවදුරටත් මෙම මාර්ග සංඥා පුවරු ගලවා දැමීම සිදු කරන හෙයින් පොලීසිය මේ සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි  ප්‍රාදේශීය ඉංජිනේරුවරයා සඳහන් කළේ.

ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල යකඩ කණුවල සවිකර ඇති මාර්ග සංඥා පුවරු ස්ථාන කිහිපයක ගලවා දමා ඇති හෙයින් රියදුරන්ට අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බවද අනාවරණය කෙරුණා.

මාර්ග සංඥා පුවරු ගලවා ගෙන ගොස් කොත්තු රොටි දැමීම සඳහා භාවිතා කරන ආපනශාලා සම්බන්ධව සොයා බලා රජයේ පොදු දේපලවලට අලාභ හානී සිදු කිරීම යටතේ ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද  අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි ද පොලීසියට දැනුම් දුන්නා.