Wednesday, December 25, 2024

General line - 0115112241

"අධිවේගී යාත්‍රා දෙකක් නැව දෙසට පැමිණෙනවා" - පැහැර ගැනීමට පෙර නැවෙන් ලැබුණු පණිවුඩය




සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ලකන ලදැයි පැවසෙන “ශ්‍රී ලාංකික ධජය රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව” සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන් පෙන්වා දෙන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, මූළික විමසීම් වලින් කරුණු හෙළිවන පරිදි එම නෞකාව ශ්‍රි ලංකාවේ ලියාපදිංචි වී නොමැති වුවත් එහි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු සේවය කළ බවට වාර්තා වී ඇති බවයි.
 
නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවත් සඳහන් කරනවා.
 
එබැවින්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගත් වහාම එම තොරතුරු එම නෞකාවේ සේවක පිරිසේ ආරක්ෂාවට අගතියක් සිදු නොවන අයුරින් වාර්තා කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන බවත් පැවසුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  ශී‍්‍ර ලංකාවේ ධඡය සහිත ඉන්ධන ප‍්‍රවාහන නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැර ගෙන ඇති බවයි. ඒරිස් 13 නම් වූ මෙම නෞකාවේ ශී‍්‍ර ලාංකිකයින් අට දෙනෙකු සේවය කර ඇති බවටයි විදෙස් වාර්තා පවසන්වනේ.

කොමරෝස් රාජ්‍යයට අයත් එම නෞකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් යටතේ ලියාපදිංචි වී තිබුණා. 

නෞකාව පැහැර ගෙන ඇත්තේ සෝමාලියාවේ උතුරුදිග වෙරළට නුදුරින් යාත‍්‍රා කරමින් තිබියදීයි. ඒ වනවිට එය ජියුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු වරාය බලා යාත‍්‍රා කරමින් තිබුණා.

අධිවේගී යාත‍්‍රා දෙකකින් පැමිණි සෝමාලියානු කොල්ලකරුවන් නෞකාව පැහැරගෙන ඇති බව සඳහන්. මෙම නෞකාව ආපදා සංඥා නිකුත් කර අතුරුදන් වූ බව, මුහුදු කොල්ලකෑම් වැළැක්වීම සඳහා වූ සහන සංවිධානයද ප‍්‍රකාශ කර තිබෙනවා.

නෞකාව සොයා යුරෝපා සංගමයේ නාවික බලකාය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ ඉන් අනතුරුවයි. නෞකාව යාත‍්‍රා කළ බව කියන මුහුදු ප‍්‍රදේශයට ගුවන් යානයක්ද පිටත්කර හැර තොරතුරු ලබාගෙන තිබෙනවා. දැනට ලැබී ඇති තොරතුරුවල දැක්වෙන්නේ නෞකාව සෝමාලියානු වරාය නගරය ආශි‍්‍රතව ඇති බවයි. 

නෙත් නිවුස් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ පැවසුවේ මෙය පැහැර ගැනීමක්ද මංකොල්ලකෑමක්ද නැතහොත් වෙනයම් සිද්ධියක් දැයි මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

මේ වසරේ ජනවාරි මස 28 වැනිදා අදාළ සමාගම ලබාදුන් තොරතුරුවලට අනුව නෞකාවේ ශී‍්‍ර ලාංකිකයින් අට දෙනෙකු සේවය කරන බවට දැනුම් දී තිබුණා. එහෙත් පැහැරගත් බව කියන මෙම නෞකාවේ එම ශී‍්‍ර ලාංකිකයින් අට දෙනා සේවය කළේ දැයි තවමත් තහවුරු වී නොමැති බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.