Wednesday, December 25, 2024

General line - 0115112241

ගීතාට මන්ත්‍රී ධූරය දැරිය නොහැකියි - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කියයි




ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ නඩුවේ තීන්දුව මැයි මස 3 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (14) නිවේදනය කළා.

ඒ, ඇය ද්විත්ව පුරවැසිභාවය හොබවන බැවින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක් ලෙස කටයුතු කිරීමට නොහැකි බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණුකළ රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.  

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ ඇතුළු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව අද කැදවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය හොබවන යම් තැනැත්තෙකු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය සඳහා නුසුදුසු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බවයි. 

ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය මේ වනවිට ශී‍්‍ර ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හොබවන බැවින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය සඳහා නුසුදුසු බවයි ඔහු කියාසිටියේ.

ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය අවලංගු කර ගෙන ඇති බවට කිසිඳු සාක්‍ෂියක් නොමැති බවද අධිකරණයේදී අද ප‍්‍රකාශ කෙරුණා.

අදාළ රීට් පෙත්සම ගොණුකරනු ලැබ තිබුණේ ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු විසින්.