Friday, September 20, 2024

General line - 0115112241

දඹදිව වන්දනාවේදී ශ‍්‍රී ලාංකිකයන් තිදෙනෙකු මිය යාම ගැන සැකයක්




දඹදිව වන්දනාවේ ගිය ශ‍්‍රී ලාංකිකයින් තිදෙනෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔවුන්ගේ පවුලේ ඥාතින් පවසනවා. 

ඔවුන් නෙත් නිවුස් වෙත කියා සිටියේ තම ඥාතීන්ට දඹදිව බලා යන විට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබුණු බවයි.
 
වන්දනා නඩයේ සිටි 63 හැවිරිදි කාන්තාවක් ඉකුත් 20 වනදා ජීවිතක්ෂයට පත් වුණා. 

ඇය කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. මෘත ශරීරය ඉකුත් 23 වනදා මෙරටට ගෙන්වා ගැණුනා. 

හැට දෙහැවිරිදි කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිව සිටි තවත් කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. 

65 හැවිරිදි වලස්මුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්වූ අය අතරට අයත්. 

මේ සම්බන්ධයෙන් ජීවිතක්ෂයට පත් වූ කාන්තාවකගේ පුත‍්‍රයෙකු මෙලෙස අදහස් පළ කළා. 

කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි දඹදිව සංචාර සංවිධාන කරන්නෙකුගේ මඟ පෙන්වීම යටතේ මොවුන් ඉන්දියාව බලා ගොස් ඇත්තේ ඉකුත් 13 වනදායි. 

දඹදිව සංචාරය සංවිධානය කළ පුද්ගලයාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ද සැකයක් පවතින බවයි ජිවිතක්ෂයට පත්වූ තවත් කාන්තාවකගේ ඥාතියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ජීවිතක්ෂයට පත්වූවන්ගේ මෘත ශරීර මෙරටට ගෙන්වීමේදීද අසාධාරණයක් සිදුවූ බවයි තවත් අයෙකු සඳහන් කලේ.

ඉන්දියාවේ උෂ්ණත්වය වෙනස් වීම මෙම මරණවලට හේතු වන්නට ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. 

බුද්ධගයා, වාරනාසි හා සාරාණාත්හි මේ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක්. 

සාංචි සහ අජන්තාහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් වනවා. 

කුසිනාරාවේ හා දිල්ලියේ උෂ්ණත්වය දැක්වුණේ සෙල්සියස් අංශක 34ක් ලෙසයි. 

ලූම්බිණියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් ලෙසටයි දැක්වුණේ.