Sunday, September 8, 2024

General line - 0115112241

සමයං ඝාතකයින්ගේ රිවෝල්වරය සමඟ ඇල්ලූ සැකකරුට පොලිසියේ සම්බන්ධයක්




පාතාල නායක සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු හිටපු පොලිස් නිලධාරියෙකුගේ සහෝදරයෙකු බව අනාවරණ වී තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා දැනට විදේශගතව සිටින බවයි වැඩිදුරටත් හෙළි වී ඇත්තේ. 

කෙසේ වෙතත් සැකකරුට මෙම රිවෝල්වරය ලැබුණේ කෙසේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ. 

එහෙත් අදාළ රිවෝල්වරය සමයං ඇතුළු හත් දෙනා ඝාතනය කිරීම සඳහා පැමිණි ඝාතකයින් පරිහරණය කර ඇති බවයි පොලිස් මූලස්ථානය අනාවරණ කරගෙන ඇත්තේ. 

පනස් එක් හැවිරිදි වියේ පසු වූ සැකකරු හිඹුටාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු සතුව තිබී රිවෝල්වරයට අමතරව උණ්ඩ 07ක් ද සොයා ගැණුනා. 

සැකකරු කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ. 

සමයං ඇතුළු හත් දෙනෙකු බන්ධනගාර බස් රථයක් තුළ දී වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය පෙබරවාරි මස 27 වනදා කළුතර ප‍්‍රදේශයේදීයි. 

එහිදී සමයං ඇතුළු පාතාල සාමාජිකයන් පස් දෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.