Friday, September 20, 2024

General line - 0115112241

විමල්ගේ ලේ සාම්පල් පිටස්තරයෙකු අතට ගියේ කොහොමද ?




වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ රුධිර සාම්පලයක් පිටස්තර පුද්ගලයෙකු අතට පත්වූයේ කෙසේදැයි සොයා බන්ධනාගාර බුද්ධි අංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

මන්ත‍්‍රීවරයාගේ රුධිර සාම්පල පරීක්ෂාවක් පිටතින් සිදු කරන ලෙසට ඔහු පරීක්ෂා කරන වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබුණා. ඊයේ දිනය නිවාඩු දිනයක් වීම ඊට හේතුව බවටයි පැවසෙන්නේ. 

බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබන නේවාසික රැඳවියකුගේ රුධිර සාම්පල පිටතින් පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඒවා යැවිය යුතු වන්නේ රජයේ රෝහලකටයි. 

බන්ධනාගාර නිලධාරියෙකු විසින්ම එම රුධිර සාම්පල රැගෙන යා යුතු වීම ද අනිවාර්ය කරුණක්. 

එහෙත් බාහිර පරීක්ෂාවක් සඳහා විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ රුධිර සාම්පල රැගෙන ගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙකු නොව ඔහුගේ හිතවතෙකු බවයි අනාවරණ වී ඇත්තේ. 

රුධිර සාම්පල රැගෙන ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු විසින් බවට ද වාර්තා පල වනවා. 

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් වෙත දැනුම් දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ කියා සිටියේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

මේ අතර හයවන දිනටත් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා උපවාසයේ නිරත වන අතර ඔහු මේ වනවිට රැඳී සිටින්නේ බන්ධනාගාර රෝහලේයි.

ඔහුගේ සුවදුක් විමසීම සඳහා අද උදෑසන ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණියා. මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත.

මේ අතර අල්ලස් නඩුවක සාක්ෂිකරුවෙකු ලෙසට විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසියක් ද නිකුත් කර තිබුණා. 

එහෙත් අසනීප තත්වය හේතුවෙන් මන්ත‍්‍රීවරයා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවයි බන්ධනාගාර නිලධාරීන් මහාධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේ. 

ඒ අනුව නඩුවේ සාක්ෂි කැඳවීම ජූනි මස 15 වනදාට කල් තැබුණා.