Sunday, September 22, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ අංශ 03 ක් වෙත ජපානය අත දිගු කරයි




ඉන්දීය සාගර කළාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය වීමට ශ‍්‍රී ලංකාවට තවදුරටත් සහය ලබා දෙන බවට ජපාන අග‍්‍රාමාත්‍ය ශින්සෝ අබේ අද (12) සහතික වුණා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ වරාය, ප‍්‍රවාහන සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රයන්හි සංවර්ධනයට ජපානයේ සහය ලබා දෙන බව අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මෙහිදී කියා සිටියා. ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට ද ශ‍්‍රී ලංකාවට ජපානයේ සහය ලබා දෙන බවයි අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ වැඩිදුරටත් පැවසුවේ. 

ජපානයේ නිළ සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (12) පෙරවරුවේ එරට ආරක්ෂක අමාත්‍ය තොමෝමී ඉනදා ද මුණ ගැසුණා.

අග‍්‍රාමාත්‍යවරයා අමතමින් ඇය එහිදී කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ හමුදාවන් සහ ජපානයේ ස්වයං ආරක්ෂක හමුදාවන් අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් විය යුතු බවයි.

වෙරළාරක්ෂාව සහ ඉන්දීය සාගර කළාපයේ ආරක්ෂාව වෙනුවෙන් එම සම්බන්ධතා වඩා වැදගත් වන බව ද ඇය පෙන්වා දුන්නා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඉතිහාසය පුරා ඉන්දීය සාගර කලාපයේ සාමය මත පදනම්වී ඇති බවයි. මේ නිසා ඉන්දීය සාගර කලාපයේ සාමය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සෑමවිටම පෙනී සිටින බව ද අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා.