Sunday, September 22, 2024

General line - 0115112241

අසල්වැසි පිය පුතු පහරදීමෙන් තිදරු පියා නින්දේදීම මරුට (PHOTOS)




මෝල් ගසක් ඇඟේ වැදුනා යැයි ඇති වූ බහින්බස්වීමක් දුර දිග යෑම හේතුවෙන් සිදු කළ පහරදීමකින් තිදරු පියෙකු මියගොස් තිබෙනවා.

බොරලන්ද ගල්ඒදන්ඩ සාදුවත්ත ප‍්‍රදේශයේ හතලිස් දෙහැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඊයේ (11) රාත්‍රියේදී මෙම සිදුවීම ඇති වී තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයාගේ නිවසේ තිබූ වංගෙඩිය හා මෝල් ගස එළඹෙන නව අවුරුද්දට කැවිළි සකස් කිරීම සඳහා තම නැන්දනියගේ නිවසට රැගෙන ගොස් තිබෙනවා.

පසුව එය නැවත රැගෙන එන විට මෝල් ගස ඇඟේ වැදුනායැයි පවසා අසල්වැසි පියෙකු හා පුතෙකු ද තවත් අසල්වැසි පුද්ගලයෙකුද මොහුට පහර දී ඇති බවයි මූලික පොලිස් පරික්ෂණවලින් හෙළිවී ඇත්තේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා තුවාල සහිතව නිවසට පැමිණ ඇති අතර රාත‍්‍රීයේ නිදා සිටින විට මොහු මිය ගොස් තිබෙනවා.

සැකකාර පියා සහ අනෙක් අසල්වැසියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පුතා ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

දියලතාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.කේ. හේරත්ගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධව දියතලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.