Sunday, September 22, 2024

General line - 0115112241

කසල මගින් විදුලිය නිපදවන්න සමාගම් දෙකක් ඇවිත්




කසළවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජකයින් දෙදෙනෙකු ඉදිරිපත්වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේ එම ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා රජය කටයුතු කරන බවයි.

කසළවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වනවා. එම නිසා ඊට සම්බන්ධ වීමට ආයෝජකයින් මැලිකමක් දක්වන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේ වෙතත් දැනට ඉදිරිපත්වී සිටින ආයෝජකයින් දෙදෙනා දිරි ගැන්වීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළා.

කසළ මගින් විදුලිය උත්දාපනය සහ රජය සතුව දැනට ඇති වැඩපිළිවෙල පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙහිදී පැහැදිලි කළා.

එහිදී ඔහු සඳහන් කළේ "ලංකාවේ කසලවල තිබෙන ජල ප්‍රමාණය ඉතා අධික නිසා එම කසළවලින් ඝෘජුව විදුලිය නිෂ්පාදනය කිරීම සාර්ථක නැහැ. මේකට අධික වියදමක් යනවා. මේ නිසා රජය එකඟතාව පළ කළා කසළ මගින් විදුලිය නිපදවීමේදී විදුලි ඒකකයකට රුපියල් 36 ක් ලබා දෙන්න. කලින් රජය එකඟ වී තිබුණේ විදුලි ඒකකයකට රුපියල් 23.10 ක්." යනුවෙනි.

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමත් සමග කසල කළමනාකරණය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. ඒ අනුව මෙම වැඩපිළිවෙල කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමටයි රජය තීරණයකර තිබෙන්නේ.