Sunday, September 22, 2024

General line - 0115112241

කණ්ඩායම් 33 ක් ලංගම බස් 4000 ක් මුදල් ගෙවා වෙන් කරවාගෙන




ශ‍්‍රී ලංගම බස් රථ හාරදහසක් පමණ කම්කරු දින රැළි සහ පෙලපාළි වෙනුවෙන් මුදල් දී වෙන්කර ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංගම ප‍්‍රධාන මෙහෙයුම් අධිකාරී ටී.එච්.ආර්.ඩී. චන්ද්‍රසිරි පැවසුවේ මුදල් අයකර මෙම බස් රථ ලබාදී ඇති බවයි. බස් රථ මුදා හරින්නේ මුදල් ගෙවීමෙන් පසුව පමණක් බවද අවධාරණය කෙරුණා.

දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 33 ක් පමණ මෙලෙස ශ‍්‍රී ලංගම බස්රථ ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.  

වෙනදා සාමාන්‍ය මගී ප‍්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ බොහෝමයක්ද අද (01) කම්කරු දින රැළි සහ පෙලපාළි වෙනුවෙන් පිරිස් රැගෙන ඒමට මුදල් දී වෙන්කර ගෙන තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ පසුගිය වසරේ දී මෙලෙස මැයි රැළි සඳහා සහභාගී වූ පෞද්ගලික බස් රථවලට විවිධ බලපෑම් එල්ල වූ බවයි. බස් රථවලට පහර දී බස් රථ හිමියන්ට පාඩු සිදු නොකරන ලෙසද ඔහු සඳහන් කළා. සිය සංගමයෙන්ද මුදල් ගෙවා ඕනෑම පක්ෂයකට බස් රථ ලබා ගත හැකි බවත් පෙන්වා දුන්නා.

මේ අතර බස් රථ සඳහා අද අධිවේගී මාර්ගවල දී ගාස්තු අය නොකිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. අධිවේගී මාර්ගවල ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇති බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්‍ෂ එස්.  ඕපනායක පැවසුවේ.

ඒ අනුව අධිවේගී මාර්ගයන්හි ඇතැම් ස්ථානවල විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද ස්ථානගත කරන බව ඔහු කියා සිටියා.