Saturday, September 21, 2024

General line - 0115112241

නරේන්ද්‍ර මෝදි ජනපති හමුවෙයි - සබදතා තර කර ගැනීමට පොරොන්දුවක් (PHOTOS)




ජාත්‍යන්තර වෙසක් දින උළලෙහි සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (11) රාති‍්‍රයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. 

ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදීයි. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පවතින සාම්ප‍්‍රදායික සබදතාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම සංචාරය පිටුවහලක් වන බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ. 

තමන් මීට පෙර සංචාරයක් සදහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් එහෙත් විවිධ හේතූන් මත එය මගහැරී ගිය බවත් ඔහු සදහන් කළා. 

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක්ද පිරිනමනු ලැබුවා. 

එම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන්ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරු 9 ට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී විශේෂ සම්මන්ත‍්‍රණයක් පැවැත්වෙනවා. 

ඊට රටවල් 82 ක බෞද්ධ නියෝජිතයන් හත්සිය පනස් දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතයි. 

ඊට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ද සහභාගි වනවා. 

මේ අතර අද දිනයේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදාගැනීමට නියමිතයි. 

ඉන්දීය රජයේ වියදමින් හැටන් ප‍්‍රදේශයේ ඉදිකළ රෝහලක්ද ඔහු විසින් විවෘත කරනු ඇති.  

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් සමරු උත්සවය විවෘත කිරීම සදහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ සහභාගි වනවා.