Sunday, December 22, 2024

General line - 0115112241

බලය ආණ්ඩුකාරවරයා සතුයි - විශ්වාසභංගයක් ගෙනාවත් වැඩක් නැහැ




උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට ඒකාබද්ධ විපක්‍ෂයට සහාය දක්වන මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, ඔවුන් ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශ භාරගැනීම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ප‍්‍රතික්‍ෂේප කිරීමත් සමගයි. ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න එම ධුරයෙන් ඉවත් කර ඊට හිටපු ප‍්‍රධාන අමාත එස් එම් රංජිත් පත්කරන්නැයි ඉල්ලමින් මන්තී‍්‍රවරුන් පිරිසක් ඊයේ (15) දිවුරුම් ප‍්‍රකාශ භාරදීමට උත්සාහ කළා. 

ඒ අතර දැනට අමාත්‍ය ධුර දරන දෙදෙනෙකුද සිටින බවයි උතුරුමැද පළාත් හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කේ එච් නන්දසේන සඳහන් කළේ.

පළාත් සභාවක මැතිඇමතිවරුන් ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව භාරදෙන දිවුරුම් ප‍්‍රකාශයක් හෝ වෙනත් ලියවිල්ලක් භාරනොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් ආණ්ඩුකාරවරයාට තිබේද යන්න සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

ඊට ප‍්‍රතිචාර දැක්වු අධිනීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා සඳහන් කළේ "ආණ්ඩුකාරවරයා කියන්නේ විධායකයේ නියෝජිතයා. එතකොට ආණ්ඩුකාරවරයාට සම්පූර්ණයෙන්ම බලය තියෙනවා අදාළ පනත යටතේ එවැනි භාර ගැනීමක් නොගෙන ඉන්න. මොකද ඔහු ක්‍රියා කරන්නේ විධායක ජනාධිපති කියන ආකාරයට නිසා." යනුවෙනි.

කෙසේවෙතත් මේ හරහා පළාත් සභාව තුළ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවද ඉන් බලපෑමක් සිදුකළ නොහැකි බවත් මෙහි අවසන් ප‍්‍රතිඵලය ජනතාව පීඩාවට පත්වීම පමණක් බවත් අධිනීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා වැඩිදුරටත් සඳහන් කළා.