Saturday, September 21, 2024

General line - 0115112241

පෙර පාසල් ගිය වන අලි ප‍්‍රහාරයකින් ගල්කිරියාගම දැරියක් මරුට - තවත් දැරියක් හා මිත්තනිය තුවාල ලබයි




පෙර පාසලට ගමන් කරමින් සිටි කුඩා දැරියන් දෙන්නකුට හා මිත්තනියකට අද (19) උදේ ගල්කිරියාගම පලාගල නෑගම්පහ මාර්ගයේ කරවිලගල ප්‍රදේශයේදී වන අලියකුගේ ප්‍රහාරයකට ලක්ව එක දැරියක් මියගොස් අනෙක් දැරිය හා මිත්තනිය තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා  

මෙසේ මියගොස් ඇත්තේ කරවිලගල පදිංචි නිරුපමා ලක්ෂානි (04) දැරිය වන අතර තුවාල ලබා ඇත්තේ එම දියණියගේ නැගණිය වන පැහැසරා හිම්හානි අවුරුදු එකහමාරක සහ මිත්තනිය වන මල්ලිකා හේරත් (32) යන අයයි.

මේ දරුවන්ගේ මව උදේ රැකියාවට ගොස් සිට ඇත මිත්තනිය ලොකු දරුවා පෙරපාසලට අරලවිම සදහා කුඩා දරුවාද වඩාගෙන නිවසේ සිට ප්‍රධාන මාර්ගයේ ගමන් කරද්දී මාර්ගය හරහා පැමිණි අලියා මෙසේ පහරදී ඇත.

තුවාල කරුවන් ප්‍රදේශවාසීන්ගේ උදව් ඇතිව ආඩියාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය දරුවා හැර අනෙක් දෙන්නා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා. 

මියගිය දරුවාගේ මව වන කාංචනා මදුමාලි (32) මහත්මිය හාඩාවටෙමින් කිවේ දියණියට උදේ පාසල් යන්නට තමන් එපා කියද්දී පන්තිය අතුගාන්න අවශ්‍ය බව පවසා ගිය බවය. 

මේ නිවසේ තවත් දෙන්නකු මිට පෙර වන අලින්ගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.

එමෙන්ම ප්‍රදේශවාසින් කියා සිටින්නේ දිගින් දිගටම වන අලි කරදරය පැවතියද කිසිවකුගේ අවධානය යොමු නොවූ බවය. 

ප්‍රදේශවාසින් කියා සිටින්නේ අඩුම තරමේ පාසල් යන හා නිමවී පැමිණෙන අවස්ථාවට හෝ මේ දරුවන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවය.