Tuesday, September 17, 2024

General line - 0115112241

ප‍්‍රදේශ රැසකට අධික වැසි - කළු කැළණි සහ ගිං ගංඟාවල ජල මට්ටම ඉහළට




පවතින අධික වැසි සහිත කාලගුණ තත්වයත් සමග රත්නපුර හා කෑගල්ල දිස්ත‍්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

ඉදිරි පැය 24 තුළ ද වැසි අපේක්ෂා කරන බැවින් අදාළ දිස්ත‍්‍රික්කවල නායයාම් හා පස් කණ්ඩි කඩා වැටීම් සිදු විය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල හා ඉඹුල්ලේ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩි අවදානම් සහගත තත්වයක් පවතිනවා. 

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ දෙහිඕවිට යන ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශවල ද නායයාම් හා පස් කණ්ඩි කඩාවැටීම් සිදු විය හැකි බවටයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිලේලේ පසුවන ලෙස ද අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

මේ අතර කළු, කැළණි සහ ගිං යන ගංඟාවල ජල මට්ටම ද මේ වනවිට ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා.

රත්නපුර ජල මිනුම් ස්ථාන මාපකය අනුව කළු ගඟ ජල මට්ටම අද (25) අලුයම 03 වනවිට මීටර් 6.58 ක අගයක පැවතුණා. එය මීටර් 7.5  දක්වා වැඩි  වුවහොත් සුළු ගංවතුර මට්ටමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

නාගලගම්වීදිය ජල මිනුම් ස්ථාන මාපකය අනුව කැළණි ගගේ ජල මට්ටම අඩි 1.75 අගයක පැවතුණා. සුළු ගංවතුර මට්ටමක් ඇති වීමට නම් එය අඩි පහක් දක්වා වැඩි විය යුතුයි. 

බද්දේගම පිහිටි ජල මිනුම් ස්ථාන මාපකය අනුව ගිං ගගේ ජල මට්ටම අද අලුයම 03 වනවිට මීටර් 3.44  දක්වා වැඩි වී තිබුණා. එය මීටර් 04  දක්වා වැඩි වුවහොත් සුළු ගංවතුර මට්ටමක් ඇති වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. 

පවතින තත්ත්වය යටතේ රත්නපුර අවට ප‍්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි. කැළණි, ගිං සහ නිල්වලා යන ගංගා ධාර ප‍්‍රදේශයන්ට  ඉකුත් පැය 24 දී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

එම නිසා ඒවායේ ජල මට්ටම්ද ඉහළ යමින් පවතින බැවින් එම ගංගා ආශ‍්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

මේ අතර ගාල්ල දිස්ත‍්‍රික්කයේ පහත් බිම් කිහිපයක් මේ වනවිටත් ජලයෙන් යට වී තිබෙනවා.

ඉදිරි පැය 48 තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසකට අධික වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවීමේ අවදානමක් පවතිනවා.