Tuesday, September 17, 2024

General line - 0115112241

රටටම මහ වැසි - දකුණට මහ ගං වතුරක් - ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි (VIDEO)




ගාල්ල , මාතර දිස්ත‍්‍රික් ඇතුළු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඊයේ (26) රාත‍්‍රීයේ තද වැසි ඇති වුණා. 

ගිං ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම, තවලම, නාගොඩ හා වැලිවිටිය ඇතුළු පහත් බිම්වල ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. 

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගං වතුර අවස්ථාවන්හිදී යට නොවන ප‍්‍රදේශ පවා මේ වනවිට ජලයෙන් යටවී ඇති බව නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල් සඳහන් කළා. 

ඉදිරි පැය හය තුළ තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි ගඟ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගං වතුර මට්ටමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. 

මේ හේතුවෙන් කැළණි ගඟ දෙපස ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවා. 

කළු ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ‍්‍රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ජූනි මස 02 වැනිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි ඇති විය හැකි බවයි.