Friday, September 20, 2024

General line - 0115112241

විනාශ වූ සහතික සහ නිල ඇඳුම් නොමිලේ ලබාදීමේ තීරණයක්




අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින්ගේ ජීවිත නඟා සිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ආණ්ඩුව පවසනවා. 

ගංවතුර සහ නායයාම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පාසල් දරුවන්ට විශේෂ සහනයක් සැලසීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළා. 

ඔහු කියා සිටියේ විපතට පත් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකක් නොමිලේ ලබා දෙන බවයි.  ඒ සඳහා අවශ්‍ය රෙදි ලබා දෙන බවයි පැවසුවේ. 

ඒ වගේම ආපදාවන් නිසා විභාග සහතික විනාශ වූ අයට නොමිලේ සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් පැවසුවා. 

නායයාම් සහ ගංවතුර හේතුවෙන් විපතට පත් ප‍්‍රදේශවල පාසල් අද දිනයේ විවෘත කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. 

මේ අතර බිඳ වැටී ඇති විදුලි පද්ධති යළි සකස් කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇතැයි  විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියා. 

ගංවතුරත් සමඟ මතුවිය හැකි වසංගත රෝග තත්වයන් පාලනය කිරීමට හා ජනතාවගේ සෞඛ්‍ය තත්වය නඟා සිටුවීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ. 

විපතට පත් ජනතාව වෙන සහන සැලසීම සඳහා අඛණ්ඩව මුදල් ලබාදෙන බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. 

ඔහු මෙම අදහස් පල කළේ යටියන්තොට ප‍්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ව්‍යසනයක් සිදුව ඇති මෙවැනි අවස්ථාවක අමාත්‍යවරුන්ට වාහන ලබාගැනීමට මුදල් වෙන් කිරීම සාධාරණ ද යන්නයි. 

විපතට පත්වූවන්ට ආධාර ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් කැමැත්ත පල කර ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.