Wednesday, December 25, 2024

General line - 0115112241

අද රාත්‍රියේ තද වැසි - දිස්ත්‍රික්ක 07ක නායයෑම් අවධානම දීර්ඝ කරයි




දිස්ත‍්‍රික්ක 07කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවිමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබෙනවා.

රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑලිය එම දිස්ත‍්‍රික්කයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.

අනතුරුදායක දිස්ත‍්‍රික්කවල සීග‍්‍ර බෑවුම් සහ බෑවුම් ආසන්නයේ ජීවත්වන පුද්ගලයන් විමසිලිමත් විය යුතු බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ගස් හෝ කණු ආදිය ඇද වී යාම, භූමියේ හෝ ගොඩනැගිලිවල පැලුම් ඇති වීම නාය යාමක පෙර නිමිති විය හැකි බවයි දනුම් දෙන්නේ. දිය උල්පත්වලින් ක්ෂණිකව මඩ වතුර ගැලීමක් සිදු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ. 

මේ අතර, අද රාත‍්‍රියේ ද රටපුරා ප‍්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ නදිකා රණවීර සඳහන් ක‍ළේ දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

විශේෂයෙන් අද (05)  රාත්‍රියේදී සබරගමුව සහ මධ්‍යම පළාත්වල සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කළා.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය වරින් වර පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එවැනි අවස්ථාවලදී එම මුහුදු ප‍්‍රදේශ රළු වීමට ද ඉඩ තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.