තම ආර්ථික අපහසුතා පියවා ගැනීම සඳහා සිය ඔලිම්පික් රිදී පදක්කම විකුණන බවට තමා කළ ප්‍රකාශයේ වෙනසක් නැති බව ඔලිම්පික් ශූරියක වන සුසන්තිකා ජයසිංහ nethnews.lk වෙත පැවසුවා.
තමාට උපකාරයක් නොලැබේ නම් මෙම තීරණය පමා නොවී ක්‍රියාත්මක කරන බවයි ඇය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් සුසන්තිකා ජයසිංහ වෙත මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හදිසියේ දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් ලබා දී ඇති මෙම දුරකතන ඇමතුමින් කියවී ඇත්තේ සුසන්තිකාගේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි.
ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දෙන තෙක් මදක් ඉවසන ලෙස ද ඉන් සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි කෙටිදුර ධාවන ශූර සුසන්තිකා ජයසිංහ මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ "මම දයාසිරි ජයසේකරට වඩාත් කැමති කෙනෙක්. ඔහුගේ පෞර්ෂ්‍යය සහ පෙනුමට මම කැමතියි. මට ඇමතිතුමා සමග පෞද්ගලික තරහක් නැහැ. හැබැයි අපිව මෙහෙම පැත්තකට දාලා කාලකන්නි කරන එක මට ඉවසන්න බැහැ. අනාගත ක්‍රීඩා පරපුරත් අපිට වෛර කරයි. අපේ අත්දැකීම් දක්ෂතාවය ඔවුන්ට ප්‍රයෝජනවත් විය යුතුයි.
මම පුද්ගලික ප්‍රශ්න රැසක් නිසා බැට කන කෙනෙක්. එහෙම තියෙද්දී මගේ වැටුප පවා නවත්වලා මාව පීඩාවට පත්කිරීම ඉවස ගන්න බැරිම තැනයි කතා කළේ. හෙට අනිද්දා වෙද්දි දයාසිරි ඇමතිතුමත් වෙන අමාත්‍යාංශයකට යයි. එතකොට මොකද වෙන්නේ. එයා මේක පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස නොදැකිය යුතුයි." යනුවෙනි.
කෙසේ වෙතත් තම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට ගත් තීරණය අත්හිටුවා නොමැති බවත් ඉදිරියේදි පැවැත්වෙන සාකච්ඡා අනුව තීරණයක් ගන්නා බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළා.