Monday, May 6, 2024

General line - 0115112241

ජී එස් පී යට සැඟවුණු අනතුරක් මහින්ද හෙළි කරයි




ජී එස් පී ප්ලස් බදු සහනය ලබා ගැනීම සඳහා යටත් වන කොන්දේසි තුළින් රටේ දේශපාලනමය, නීතිමය හා ආයතනික රාමුවට අතිශයින්ම බරපතල හානි සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ රටේ සමස්ත අනාගතයම ජී එස් පී මත ගොඩනැගිය හැකි බවට වූ හැඟීමක් ආණ්ඩුව විසින් ජනතාව අතර වපුරමින් සිටින බවයි. 

ජී එස් පී ප්ලස් බදු සහන ක‍්‍රමයෙන් ලැබෙන්නේ තාවකාලික ආර්ථික ප‍්‍රතිලාභයක් පමණක් බවද හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

රණවිරුවන්ට එරෙහි යුද අපරාධ විමර්ශන පැවැත්වීම හා බලතල බෙදීම ඇතුළු යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසිවලට එකඟ නොවී එම බදු සහනය අහෝසි වීමට 2010 දී තම ආණ්ඩුව ඉඩහැරි බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් හාරදහස් තිස්පහකට ආසන්න වෙමින් තිබෙනවා. 

එබැවින් ශ‍්‍රී ලංකාවට දැනට ඇති ශක්තීන් ප‍්‍රයෝජනයට ගෙන යුරෝපා සංගමයෙන් කිසිදු බදු සහනයක් නොලබන ආනාගතයක් සඳහා සූදානම් විය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

ජී එස් පී ප්ලස් ලබා ගැනීමකින් තොරව සාමාන්‍ය බද්දකට යටත්ව, සාමාන්‍ය ජී එස් පී ක‍්‍රමය යටතේ සිටියා නම්, ඩොලර් හාරදහස් තිස්පහේ කඩයිම පසු කිරීමත් සමඟ ඇතිවන අලූත් තත්වයට හුරුවීමට වඩාත් පහසු වීමට ඉඩ තිබූ බවද ඔහු පවසනවා. 

අදාළ සහනය නැවත ලැබීම හේතුවෙන් බදු රහිත තත්වයේ සිට එකවරම බදු ගෙවන තත්වයට මාරු වීමට සිදු වුවහොත් එය අපහසු විය හැකි බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. 

එබැවින් ජී එස් පී ප්ලස් සම්බන්ධයෙන් යථාර්තවාදී නොවන බලාපොරොත්තු ජනතාව තුළ ඇති කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. 

අලූත් නිෂ්පාදන එළිදක්වා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.