Sunday, September 22, 2024

General line - 0115112241

විදෙස් ගත ශ්‍රමිකයින්ගේ බද්ධ ගැන විදේශ රැකියා ඇමතිනි කතා කරයි




මුදල් ඇමතිවරයා විසින් විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් බද්දක් අය කරන්නට කටයුතු කළහොත් එයට විරුද්ධව මුලින්ම තමන් ඉදිරිපත් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පැවසුවා.

ශ‍්‍රමික සුරැකුම හරහා විගමණික ශ‍්‍රමිකයින් ආරක්ෂා වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පෙන්වා දෙනවා.

අමාත්‍යවරිය මෙම අදහස් ප‍ළ කළේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ විගමණික ශ‍්‍රමික පවුල් වෙත ස්වයං රැකියා ආධාර පිරිනැමීමේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රත්නපුර පළාත් කාර්යාලයේදී එක්වෙමින්.

එහිදී අදහස් දැක් වූ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මෙසේ ද ප‍්‍රකාශ කළා, 

"අද වන විට ශ‍්‍රී ලාංකිකයින් ලක්‍ෂ 15ක් විතර පිරිසක් විදෙස් ගත රැකියාවල ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒ ඇතුළුව මේ රටේ කිසිම කෙනෙක් හිත සතුටෙන් කැමැත්තෙන් ගිහින් වැඩ කරනවා නෙවෙයි. මේ සියළු දෙනාම යන්න ඇත්තේ ජීවන අරගලයේ.. ඔබ සියළු දෙනාම මුහුණ දෙන ප‍්‍රශ්නවලින් තමන්ට කියලා ගෙයක් හදාගන්න, දරුවන්ගේ අධ්‍යාපනයට, සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයට. මේ හැම එකක්ම වෙනුවෙන් තමයි කැපකිරීම් කරලා ගිහිල්ලා තියෙන්නේ. මේ ගිය කාලය තුළ ඔබ සියළු දෙනාම රටට, රටේ ආර්ථිකයට දායකත්වය දෙන්න විශේෂ වැඩ කටයුත්තක් කරපු අය. පහුගිය අවුරුදු ගණනාවක සිට මේ දක්වා අදටත්, තාමත් මේ රටේ ප‍්‍රධාන ආදායම් මාර්ගය තමයි විදෙස්ගත ශ‍්‍රමිකයින් මේ රටට එවන ආදායම. ඉතින් ඒ නිසා අපිට කිසිසේත්ම ඔබලව නොසලකා හරින්න බැරි බව වගකිව යුතු රජයක් හැටියට අපි පිළිගන්නවා වගේම ඒ සම්බන්ධයෙන් අපිට ලබාදෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා. මේවා කරනකොට නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා."

"ශ‍්‍රමික සුරැුකුම වැඩසටහනේ මොනවද කි‍්‍රයාත්මක වෙන්නේ... මේකට බද්දක් ගැහුවොත් ඔයගොල්ලෝ බය වෙන්න එපා.  මොනම හේතුවකටවත් රටේ මුදල් ඇමතිවරයා හැටියට විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් බද්දක් අය කරන්න හැදුවොත් ඒ ගැන  ඉස්සෙල්ලාම කතා කරන කෙනා මම. දරුවා ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තාත්තා කෙනෙක්  ඕමාන් රටේ හිරගෙදරක ඉන්නවා.එයාව බේරගන්න දීලා තියෙන දඩුවමේ විදියට ලක්ෂ 2000ක් විතර ගෙවන්න වෙනවා. මේක සමාජයේ එක කොටසකට විතරක් තියන ප‍්‍රශ්නයක් කියලා හිතන්න එපා."
 

මේ අතර  ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ජපානයෙන් මේ වන විට වටිනා රැකියා ඉල්ලුමක් ලැබී ඇති බවත් පෙන්වා දුන්නා.