2025 වසරේ ශ්‍රි ලාංකිකයින් 8,000 ට ආසන්න පිරිසකට දකුණු කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසනවා
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ, දකුණු කොරියාවේ රැකියා සඳහා අද දින (2024.01.07) පිටත්ව යන ලාංකිකයින් 96 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට කාර්යාංශයේදී එක්වෙමිනි.
ඔවුන් මේ වසරේ දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, දකුණු කොරියාවට ශ්‍රමිකයින් බඳවා ගන්නා රටවල් 16 අතර, වඩා ඉහළ දක්ෂතාවයන්ගෙන් යුතු ගුණාත්මක ශ්‍රමිකයින් ශ්‍රි ලංකාවෙන් යොමුකිරීමට ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවයි.
එසේම රැකියා සඳහා යොමුවන තරුණයින්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඉදිරියේදී මෙරටට ලැබෙන රැකියා කෝටාව තීරණය වන බවත්, එබැවින් නියමිත වීසා කාලය අවසන්ව දකුණු කොරියාවේ නීතිවිරෝධීව රැඳි සිටින ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට වහාම අවශ්‍ය පියවර ගන්නා බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
එසේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත්, එබැවින් නීතිවිරෝධීව රැඳි නොසිටින ලෙස ඒ මහතා මෙම තරුණයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
රටවිරුවන් වාර්ෂිකව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 6000ට අධික මුදලක් ප්‍රේෂණය කරන බවත්, එම මුදල් මෙරට ආර්ථිකය ඉහළ නැංවීමට විශාල මෙහෙයක් සිදුකරන බවත් ඒ වෙනුවෙන් රජයේ ප්‍රණාමය ඔවුන්ට පුද කරන බවත් ප්‍රකාශ කළේය.
දකුණු කොරියාව හා ශ්‍රි ලංකාව අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව පසුගිය වසරේ දකුණු කොරියාවේ රැකියා සදහා ශ්‍රි ලාංකිකයින් 5,562 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඊට නිශ්පාදන ක්ෂේත්රය සඳහා 4,699 ද, ධීවර ක්ෂේත්රය සඳහා 846 ද, ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා පිටත්ව ගිය 16 කු හා කෘෂිකාර්මික ක්ෂේත්රය සඳහා පිටත්ව ගිය එක් ශ්රමිකයෙකුද අයත් වේ.
එසේම පසුගිය වසරේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වූ ශ්‍රමිකයින් අතරට කාන්තාවන් 115 දෙනෙකුද ඇතුළත් වේ.