Wednesday, January 8, 2025

General line - 0115112241

වාහන ආනයනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්.




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. 

මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු‍ සම්බන්ධව මෙහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී  විශේෂ අවධානය යොමුව ඇති අතර, රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් මෙම ගැටලු‍ විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කර තිබෙනවා. 

ආදායම් බදුවලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබාදීම සඳහා පහසු ක්‍රියාවලියක් සැකසීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.