Sunday, September 22, 2024

General line - 0115112241

පන්සල් පාලනය කරන්න අපිට බලයක් නැහැ - අගමැති කියයි




විහාරස්ථාන පාලනය කිරීමට රජයට කිසිදු බලයක් නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විහාරස්ථානවල කටයුතුවලට මැදිහත්වීමටද රජයට කිසිදු බලයක් නොමැති බවයි. තරුණ භික්‍ෂු එකමුතුවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග අද (12) උදෑසන අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා  මේ බව කියාසිටියා. 

"මම ඡන්දෙ කාලෙ කියපුව තියෙනව තව කරන්න. ණය බර නිසා ඒ කිසිවක් නිසි පරිදි කරගන්න අමාරු තත්ත්වයක් තිබුණෙ. දැන් ඒ ගැටළුව අවසන්. බුද්ධාගම අනතුරේ කියන සටන් පාඨයට මේ ඔක්කොම යටවෙලා තියෙන්නෙ. රාජපක්ෂ රෙජිමය කාලේ මල්වතු පාර්ශවය දෙකට කඩනව කිව්ව. දළඳා මාළිගාවට බෝම්බ ගහනව කිව්ව. ඔයිටවඩා ලොකු වරදක් නැහැ. සංඝ භේදයක යෙදුන.

රටේ ආණ්ඩුව කියනවනම් මල්වත්ත දෙකට කඩනව කියල, මාධ්‍ය ඒකට රටේ මාධ්‍ය බයනම් කතා කරන්න තව මොකක්ද?

අපිට බලයක් නැහැ පන්සල් පාලනය කරන්න. මේ සෙල්ලම දැන් නවත්තන්න. අපිත් බෞද්ධයෝ ආගම් අදින්න එපා. අපිටත් පුළුවන් ආගම අදින්න. පළාත් පාලන ඡන්දෙ ළං වෙලා කරන සෙල්ලමක්නෙ මේ."


මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද එක්ව සිටියා. විහාරස්ථානවල පිං කැටවලට මුද්‍රා තැබීම සම්බන්ධයෙන්ද තරුණ භික්‍ෂු එකමුතුවේ ස්වාමින් වහන්සේලා සහ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා අතර මෙහිදී සංවාදයක් ඇති වූ අතර ඊට අග‍්‍රාමාත්‍යවරයාද එක් වුණා.


මෙම සාකච්ඡාවෙන් අනතුරුව තරුණ භික්‍ෂු එකමුතුව වෙනුවෙන් පූජ්‍ය පනාමුරේ චන්ද්‍රානන්ද හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
 

"අපි අරලිය ගහ මැදුරට එන වෙලාවෙ හිතුවෙ ආලවක දමනය කරන්න වෙයි කියල. අගමැතිතුමා දමනය වෙලා ඉවරයි. එතුම අපිට පොරොන්දු වුණා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදි බුදු දහමට තියෙන ප්‍රමුඛතාවය කිසිවිටෙක අහිමි නොකරන බවට. එය අපි විශ්වාස කරනවා" යැයිද උන්වහන්සේ පැවසුවා.